January 13, 2026

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ව්‍යාපාර සඳහා සහාය වීමට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වෙනුවෙන් රුපියල් බිලියන 95ක සහන ණය පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව රජය නිවේදනය කර තිබේ.

රාජ්‍ය බැංකු හරහා දැනට ලබාදෙන සහන වැඩසටහනක් පුළුල්කරමින්, 3% සහන ණය යෝජනා ක්‍රමයට සහභාගීවීමට පෞද්ගලික අංශයේ බැංකු 12ක් අයදුම් කර ඇත.

මාධ්‍ය අමතමින් භාණ්ඩාගාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි පැවසුවේ මෙම පියවර ව්‍යවසායකත්වය සහ අපනයනය මුලික කරගත් වර්ධනය ශක්තිමත් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූල බවයි.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස, දිට්වා සුළි කුණාටුවෙන් සහ පසුගිය ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායකයන් 130,000කට පමණ සහාය වීම රජය අරමුණු කර තිබේ.

බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට සහන මූල්‍යකරණය සඳහා පුළුල් ප්‍රවේශයක් ලබාගැනීමට හැකි වන පරිදි පෞද්ගලික බැංකු සමඟ අවබෝධතා ගිවිසුම් බ්‍රහස්පතින්දා (15) වන විට අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

“පෞද්ගලික බැංකුවලටත් මෙවැනි බලපෑම් එල්ල වූ ගනුදෙනුකරුවන් සිටිනවා. ජනවාරි 15 ​​වන විට අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” හෙට්ටිආරච්චි පැවසීය.

මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ණය ගැතියන්ට රුපියල් 250,000 දක්වා කාරක ප්‍රාග්ධන ණය ලැබෙනු ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මාස හයක සහන කාලයක් සහ වසර තුනක ආපසු ගෙවීමේ කාලයක් සහිතව 3% ක සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 1ක් දක්වා ණය ලබාගැනීමට සුදුසුකම් ලබයි.

කෙසේවෙතත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ලියාපදිංචි හෝ විධිමත් ලෙස නඩත්තු කරන ලද ව්‍යාපාර පමණක් මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබන බවයි.

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු මෙම ණය ක්‍රමය සඳහා සහභාගී වන රාජ්‍ය බැංකු හරහා ණය ලබා ගත හැකි අතර, අවබෝධතා ගිවිසුම් අවසන් වූ පසු අමතර බැංකු එකතු කරනු ලැබේ.

මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ විශේෂයෙන්ම ආපදාවන්ට ලක් වූ කලාපවල ව්‍යාපාර ස්ථාවර කිරීම, ජීවනෝපායන් ආරක්ෂා කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය පවත්වා ගැනීම සඳහා බව ඔහු අවධාරණය කළේය.

ඊට සමගාමීව, ශ්‍රී ලංකා මහ බැංකුව මාස හයක ණය සහන කාලයක් හඳුන්වා දී ඇති අතර බලපෑමට ලක් වූ ණය ගැතියන් සඳහා දඩ පොලියකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවසර දී තිබේ.