September 19, 2026

සමාජ මාධ්‍යයේ සංසරණය වූ බාල වයස්කාර දරුවෙකු මත්ද්‍රව්‍ය භාවිත කරන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් ළමා හා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරිගේ උපදෙස් අනුව එහි ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි පොන්සේකා සහ පොලිස් පරීක්ෂක කාන්දීපන් ඇතුළු නිලධාරීන් කණ්ඩායම් විසින් 2026.09.18 දින ගනේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ නිවසකදී අනාරක්ෂිතව සිටි වයස අවුරුදු 11ක් වන බාලවයස්කාර දරුවා සිය භාරයට ගෙන තිබේ.

එම දරුවා ළමා හා කාන්තා කාර්යාංශය වෙත දරුවාගේ මව සමඟ රැගෙන පැමිණ ඇති අතර දරුවාගේ යහපත සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.