
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ මිලියන 10ක ජනතාවක් ලියාපදිංචි වී ඇති අතර අවම වශයෙන් මිලියන 7ක පමණ පිරිසක් තවමත් ඒ සඳහා ලියාපදිංචි වී නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත පවසයි.
“වයස අවුරුදු 18 සහ ඊට වැඩි සියලුම පුද්ගලයන්ට, 2023 දෙසැම්බර් 31 දිනට වයස 18 සම්පූර්ණ වන අයට සහ 2024 ජනවාරි 1 වැනිදායින් පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයට බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) සඳහා ලියාපදිංචිය ලබාගැනීම අනිවාර්ය කරමින් 2023 මැයි මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. TIN එකක් ලබාගැනීම එකල නීත්‍යානුකූල අවශ්‍යතාවයක් බවට පත් වූ නමුත් බොහෝදෙනෙකුට මුලින් ඔවුන්ගේ අංක ලැබුණේ නැහැ. පසුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන් සඳහා TIN අංක නිකුත් කළා. දැන් මුළු ලියාපදිංචි පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 10 දක්වා පිරිසක් සිටිනවා” යැයි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
අද පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින්, පහසුවෙන් බදු ගෙවීමට යොමුවීම සඳහා තම TIN අංකය ලබාගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට සහ ශාඛා කාර්යාලවලට පැමිණීමට නොහැකි පුද්ගලයන්ට ඔවුන්ගේ TIN අංක ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත පද්ධතියක් හඳුන්වා දී ඇත.
ඉදිරියේදී බැංකු තැන්පතු, වාහන ලියාපදිංචි කිරීම් සහ හිමිකාරිත්වය පැවරීම්, ඉඩම් ලියාපදිංචි කිරීම්, ව්‍යාපාර ලියාපදිංචි කිරීම්, ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගැනීම සහ තවත් බොහෝ මූල්‍ය ගනුදෙනු ඇතුළු විවිධ මූල්‍ය හා නීතිමය කටයුතු සඳහා TIN අංකය අනිවාර්ය වනු ඇති බව ද නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart