April 4, 2023

සදායි බැනෝවන් යනු ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලැබූ එකම කාන්තා ගුවන් විදුලි මධ්‍යස්ථානයයි.

” ඩාරී හි කාන්තා හඩ” යන අරුත ඇති මෙය මීට වසර දහයකට පෙර ආරම්භ කරනු ලැබූවකි. අට දෙනකුගෙන් යුත් කාර්යමණ්ඩලයේ සය දෙනෙක්ම කාන්තාවන් වන මෙහි කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට ගුවන් විදුලිය අවකාශයක් සුවිශේෂී ලෙස නිර්මාණය කර පවතී.

කෙසේවෙතත්, පසුගිය රාමසන් සමයේ දී සදායි බැනෝවන් ගුවන් විදුලි විකාශය තුළින් සංගීතය වාදනය කිරීමේ වරදට තලේබාන්වරුන් විසින් මෙම විකාශන මධ්‍යස්ථානය වසා දමන ලදී.

ඔවුන් එහිදී කියා සිටින්නේ මේ ගුවන්විදුලි නාලිකාව ඉස්ලාම් එමීර් රාජ්‍ය නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළ නිසා එසේ විකාශනය නවතා දැමීමට සිදු වූ බවයි.

එහෙත් මේ ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සභාපතිනිය වන නජියා සරෝෂ් පවසා සිටියේ ඔවුන් එවැනි නීති උල්ලංඝනය කිරීමක් සිදුකර නොමැති බවත් මෙය ගුවන්විදුලි නාලිකාවට විරුද්ධව සිදුකළ අභූත චෝදනාවක් බවත්ය.

එහිදී සරෝජ් එකහෙළා කියා සිටියේ, ” තලේබාන් සංවිධානය ඔබ සංගීතය විකාශය කර ඇති බව අපට පැවසුවා අප කිසිම ආකාරයක සංගීතයක් විකාශය කර නැහැ” යනුවෙනි.

තවදුරටත් ඇය පැවසුවේ පසුගිය බ්‍රහස්පතින්දා දින පෙරවරු 11. 40ට පමණ ප්‍රවෘත්තිය හා සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජිතයින් විසින් ගුවන්විදුලි මධ්‍යස්ථානයකට පැමිණ එය වසා දමා ගිය බවයි.

ඇෆ්ගනිස්තානය තලේබාන් බලයට නතු වීම හා සමග එරට බොහෝ මාධ්‍යවේදීන්ට සිය රැකියා අහිමිවිය. තවද ඇෆ්ගන් කාන්තාවන්ගෙ අයිතිවාසිකම් විශාල වශයෙන් සීමා කිරීම් වලට ලක් වූවා පමණක් නොව ඔවුන් අධ්‍යාපන අයිතිය ඉල්ලා වීදි දිගේ ගමන් ගන්නට ද විය.

ඒ සෑම මොහොතකම තලේබාන්වරුන් කියා සිටියේ ඔවුන් ඉස්ලාම් එමිර් රාජ්‍ය නීති රෙගුලාසි හා ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග වල නිරතවන බවයි.

ගුවන්විදුලි මධ්‍යස්ථානය කෙරෙහි ඔවුන්ගේ අදහස වන්නේත් නැවත එසේ නීති උල්ලංඝනය කරන ආකාරයෙන් කටයුතු නොකරන්නේ නම් එය නැවත ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන බවයි.

නමුත් නජියා සරෝෂ් පෙන්වා දෙන ආකාරයට ගුවන් විදුලි ආයතනය එසේ නීති විරෝධී ආකාරයට කටයුතු කොට නැත්නම් මෙය ගුවන් විදුලි විකාශය නවතා දැමීමට සිදු කරන කුමන්ත්‍රණයක් නම් නැවත ගුවන්විදුලි මධ්‍යස්ථානය විකාශය ආරම්භ කළ ද මෙසේ දිගින් දිගටම ගැටළු මතුවීමේ ඉඩ ප්‍රස්තාවක් පවතියි.

වසර දහයක් වැනි දීර්ඝ කාලයක් ඇෆ්ගන් කාන්තාවන් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් විකාශය වූ කාන්තා හඬ නැතහොත් සදායි බැනෝවන් මෙසේ විකාශය අත්හිටුවීම ඇෆ්ගන් කාන්තාවන් ගේ විරෝධයට සේම මෙය වක්‍රාකාරයෙන් නැවත ඔවුන්ගේ සමාජය ඉඩ අසුරා දැමීමක් ලෙස ඔවුන් සලකනු ලබයි.

බොහෝ දෙනාගේ අදහස 1990 දශකයට පෙර තලේබාන්වරුන් පාලනයට පැමිණි යුගය සේම නැවත ඔවුන්ගේ මර්දනකාරී ක්‍රියා කලාපය ඇෆ්ගනිස්තානය පුරා පැතිරෙමින් පවතින බවයි.

කෙසේ නමුත් මේ සිදු වූ සිදුවීම සමඟ බොහෝ දෙනා පවසන්නේ තලෙයිබාන්වරුන් පෙර පාලන සමයේදී ජනමාධ්‍ය වාරණය කරමින් ක්‍රියා කල ආකාරය නැවත සිහියට නැගෙන බවයි.