January 17, 2025

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය අරමුණු කරගනිමින් අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදිකල ඊගල්ස් සිටඩෙල්(‘Eagles Citadel golf Course’) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිළ වශයෙන් විවෘත කිරීම අද (2025 ජනවාරි 17)වන දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප‍්‍රධානම සංචාරක පරාදිසයක් ලෙස සැළකෙන සීගිරිය ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකළ ලබන මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය, සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක සංචාරකයන්ගේ ආකර්ෂනය ඇදගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව ඉදිකර ඇත.

ගෝල්ෆ් ක‍්‍රිඩාංගණයේ මනරම් බවට මෙන්ම ගෝල්ෆ් ක‍්‍රිඩකයන්ගේ අභියෝගාත්මක තරගකාරිත්වයක අත්දැකිම ලබාගැනිමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අයිලන්ඩි ටී (Island T) හා අයිලන්ඩ් බේ(Island Bay)ලෙස ස්ථානයන් මෙම නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය තුළ ඉදිකොට තිබේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව අන්තර්ජාතික මට්ටමේ ගෝල්ෆ් ක්‍රීඩාංගණ ත්‍රිත්වයක් ත‍්‍රීකූණාමලය, අනුරාධපුර සහ කොග්ගල යන ගුවන් හමුදා කදවුරු තුළ ඉදිකර ඇති අතර, සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ඉදිකළ මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය ගුවන් හමුදාව සතු සිව්වැනි ගෝල්ෆ් ක්‍රීඩාංගණය වේ.

මෙම නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය ගෝල්ෆ් ක‍්‍රීඩාවට අවශ්‍ය සියලුම පහසුකම්වලින් සමන්විත වේ.

ගෝල්ෆ් ක‍්‍රීඩාව සදහා අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ, නවාතැන් පහසුකම්,ආහාර පාන,ආදි සියලුම පහසුකම් ලබාගත හැකිවන සේ ඉදිකර ඇති මෙම ගෝල්ෆ් ක‍්‍රීඩා පිටිය, ගෝල්ෆ් ක‍්‍රීඩාව සඳහා කැමැත්තක් දක්වනු ලබන ඕනෑම පුද්ගලයකු භාවිත කිරීමේ හැකියාව සලසා දීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.