March 3, 2024

වියළි කාලගුණික තත්ත්වය සහ අඩු වර්ෂාපතනය හේතුවෙන් සමඟ මෙරට තාප විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 67%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රටේ පවතින වියළි කාලගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉදිරි මාස කිහිපය තුළ ඉතිරි ජල සම්පත සංරක්ෂණය කිරීම සඳහා ජල විදුලි උත්පාදනය සීමාකර ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මේ වන විට බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනය නොලැබෙන තත්ත්වයක් ඇති බව එම නිලධාරියා සඳහන් කර තිබේ.

එබැවින් දැනට පවතින ජලාශ ධාරිතාවන් යම් මට්ටමක පවත්වා ගෙන ඒ අනුව ජල විදුලිය උත්පාදනය කිරීමට සිදුව තිබේ.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසා ඇත්තේ, සතියේ දිනවල දිනක විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 47ක් පමණ වන අතර, ඉන් ජල විදුලිය මගින් සැපයෙන්නේ 20%ක් පමණ වන බවයි.

ගල් අඟුරු සහ ඉන්ධන යොදාගනිමින් කෙරෙන තාප විදුලි නිෂ්පාදනය 67%ක් පමණ වන අතර ඉතිරි දායකත්වය සපයන්නේ සූර්ය සහ සුළං විදුලි ජනනයෙනි.

එපමණක් නොව, විශේෂයෙන්ම වෙළෙඳපොළේ ගල් අඟුරු මිල අඩුවීමත් සමඟ ලක්විජය බලාගාරයේ විදුලි ඒකකයේ පිරිවැය සුළු වශයෙන් පහත වැටී ඇති බැවින් නොරොච්චෝලේ බලාගාරය තාප විදුලිය සඳහා වැඩි දායකත්වයක් ලබා දුන් බව ද ඔහු පෙන්වාදී තිබේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම දින හත පැය 24 පුරා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතර සමස්ත විදුලි ජනනයෙන් 45%ක පමණ දායකත්වයක් එමගින් සපයයි.

ජල කළමනාකරණ මූලධර්මවලට අනුව ජලාශවලට ජලය ගලා ඒම අඩු වූ විට ජල විදුලිය ජනනය අඩුවන බවත්, පවතින ජලාශ ධාරිතාව සහ ඉදිරි මාසවල අවශ්‍යතා මත ජල විදුලි උත්පාදනය පහත දැමීමට සිදුවන වන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

වර්ෂාපතනය නොමැතිකම හේතුවෙන් විනාඩියකට ඝන මීටර් 15 සිට විනාඩියකට ඝන මීටර් 3-5 දක්වා ජලය ගලා ඒම අඩු වී ඇති අතර, ඊට අනුරූපී විදුලි උත්පාදනය අඩු වී ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මේ වන විට ජල විදුලි උත්පාදනය අඩු වී තිබුණ ද ඒ සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් අපේක්ෂා නොකරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

“ජනවාරි මස මුලදී, සියලුම ජලාශවල ධාරිතාව අවම වශයෙන් 95-96%ක් දක්වා පැවති නිසා සැළකිව යුතු ජල සැපයුමක් තිබුණා . එම ධාරිතාව මේ වන විට මෙය 77%ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි මාසයේදී, එම මට්ටම් 14-16% දක්වා පහත වැටුණා. මෙවරත් ජලාශ ධාරිතාව එම පරාසය දක්වා පහත වැටෙන්න පුළුවන්. ජලාශ මට්ටම් කළමනාකරණය කර ගැනීමෙන් මැයි-ජූනි මාසවල වර්ෂාව ලැබෙන තුරු මේ ආකාරයෙන් ඉදිරියට යන්න පුළුවන්.” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.(Sunday Morning)