May 29, 2023

විමල් වීරවංශ විසින් ලියා, පසුගියදා එළිදක්වන ලද පොත් පඩංගුව ගැන මොකට ලියනවද, කියලා ඇතැමුන් ප්‍රසිද්ධියේ ඇහුවත්, ඒ් ගැන යමක් ලියන්නමයි මුල ඉඳලම හිතාගෙන හිටියෙ. ඒ්කට හේතු දෙකක් තිබුණා. පළමුවැන්න නම් මේක අරගලය ගැන ලියැවුණු පොතක් හැටියට එයාම කියාගත්තු නිසා හා එයාගෙම කේවට්ට රැළ මේකට ප්‍රසිද්ධියක් දීම නිසයි. එමගින් හුදී ජනයා නොමග යන්නට ඉඩ ඇති නිසාම එය මොන මාදිලියේ පොත් කඩමාල්ලක්ද, යන්න හෙළිදරව් කිරීමයි. දෙවැන්න නම් බොරුවේත්, තක්කඩිකමේත් උපත වූ කතුවරයා මේ පොත් කඩමාල්ලෙ කඩදාසි අතරට මුවාවී කරන අමන සෙල්ලම ගැන අනතුරු අඟවා තැබීමයි. සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය හෝ සාහිත්‍ය කෘතියක් නම් විචාරය කිරීමට ඊට සුදුසු පිළිගත් විචාර ක්‍රමවේදියක් අත්‍යවශ්‍යයි. ඒ්ත් මෙය විචාරයක් කරන්නට තරම් සුදුසු කෘතියක් නොවන නිසාම මෙම කඩමාල්ල සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය වෙනස්. කොටින්ම කියතොත්, මට මගේ සාමාන්‍ය රචනා ශෛලියෙන් පවා බැහැරවෙන්නට මෙහිදී සිද්ධවෙනවා. දැන් අපි මේ කඩමාල්ල ටිකෙන් ටික ලිහා බලමු. ඒ්කෙදි හඳුනා ගන්න ලැබෙන කරුණු කාරණා ටික පහත පරිදි සාරාංශ ගත කරන්න පුළුවන්.

01. තම නොදැනුම හා මරිමෝඩකම ප්‍රදර්ශනය කිරීම

ගාලුමුවදොර අරගලය, ඉන්දියාවෙ හා අමෙරිකාවේ මැදිහත්වීමෙන්, ඔවුන්ගේ කුමන්ත්‍රණයක් ලෙස සිදුවූ බවට ඒ්ත්තු ගැන්වීමට කතුවර විමලෙ වලිකයි. එහෙත් ඒ් වෙනුවෙන් කිසිදු පැහැදිලි, පිළිගත හැකි එකදු සාක්ෂියක් හෝ ගෙනහැර පාන්නට ඔහු අසමත්. නිදසුනක් ලෙස කිවහොත්, කාලයක් තිස්සේ ලංකාවද, ඇතුළු ලෝකයේ විවිධ රටවල වසර ගණනාවක් තිස්සේ විවිධ වැඩසටහන් කරන, අමෙරිකාව පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධාන ලැයිස්තුවක් පෙන්වන විමලේ ඒ්වා තුළින් අරගලයට පාර කැපුණු බව කියයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, නායකත්ව හා පෞරුෂ වර්ධන වැඩසටහන්, මානව හිමිකම් ප්‍රවර්ධනය, වෘත්තීය සමිති බලාත්මක කිරීම ආදිය තම භූමිකාව කර ගත් NGO වලින්, ඒ් සඳහා වැඩසටහන් දියත් කිරීම අරුම පුදුම වැඩක්ද? බලා සිටින්නට බැරි තරමට පීඩනය හිස ඔසවද්දී, තරාතිරම නොබලා මිනිස්සු පාරට බහිද්දී, ඒ් වැඩසටහන්වලට සහභාගිවීම හෝ නොවීම මත මිනිස්සු පාරට බහින්නේද නැද්ද යන්න තීරණය වෙනවද? උදාහරණයක් විදිහට යම් ආයතනයක් වෘත්තීය සමිති බලාත්මක කිරීමට යටිතල පහසුකම් සපයන්නේ යයි සිතමු. අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති පාරට බහින්නට තීරණය කරන්නේනම්, විදේශීය ආයතනයකින් පැවැත්වූ වැඩමුළුවකට එක්වීම නිසාම, ඒ් පාරට බැසීම නොකළ යුතුද?

විමලෙ, “IRI සංවිධානයේ Emerging Leaders Academy (ELA) වැඩසටහනකට සහභාගිවූ ව්‍රායි බල්තසාර් උපුටා දක්වමින් මෙසේ කියයි.

“ඒ් අනුව නූතන ජනතා විමුක්ති පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයන් වී ඇත්තේ කුප්‍රකට අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය ආකාරයට පුහුණුව ලැබූ අයවලුන්ය. එය අමෙරිකාව සමඟ මාලිමාවට ඇති මිත්‍රශීලි බැඳීම ගැන එක් කුඩා උදාහරණයක් පමණි. (පිටුව 73).

ඔය, විමලෙ. බල්තසාර් තාමත් නගරසභාවකට තරඟ කරන්නට අපේක්ෂිත කෙනෙකු විතරයි. ඒ්ත් තමුන්නැහැලා එකතුවෙලා 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයට අරන් ආවෙ, ඒ් වෙද්දිත්, අමෙරිකානු ව්‍යවස්ථාවත්, මේ වගේ රටවල කුමන්ත්‍රණ දියත් කරනවා යයි කියන විදේශ ප්‍රතිපත්තියත් ආරක්ෂා කරන බවට බයිබලයේ අත තියලා ප්‍රතිඥා දුන්නු අමෙරිකානු පුරවැසියෙක් බව ඔහේට අමතකද? ඒ් අමෙරිකානුවගෙම සහෝදරයා වෙච්චි තාමත් අමෙරිකන් පුරවැසියෙක් වෙච්චි බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනත්, රටේ ප්‍රධානතම වගකීමක් වෙච්චි මුදල් ඇමතිකම දෙන වැඩපිළිවෙළ දිනවන්න 19වන ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සු බව අමතකද? නගරාධිපතිකම වගේද, ජනාධිපතිකම හෝ මුදල් ඇමතිකම. ඔහේගෙ තර්කයට අනුව වැඩියෙන්ම අමෙරිකානු කුමන්ත්‍රණයට දායක වෙලා තියෙන්නෙ ඔහේ බැව් පැහැදිලියි නේද? අනෙක් අතට අරගලයට එන්.ජී.ඔ් වලින් මුදල් හෝ උපකාර ලැබුණි නම්, ඒ්වා නීති විරෝධී නම් කළ යුත්තේ ඒ් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වගකිව යුතු ආයතනයකට හෝ පොලීසියට පැමිණිලි කිරීම නෙවෙයිද? දේශපාලන වාසියක් ඇත්නම් අධෝ වාතයක් ගියත්, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර එළියට ඇවිත් මාධ්‍යයට වොයිස්කට් දෙන විමලෙ මෙතනදී, ඒ් ක්‍රියාමාර්ගය අනුගමනය නොකරන්නේ ඇයි?

”අරගල සමයෙදි සැක කටයුතු ලෙස මුදල් ලැබුණු රාජ්‍ය නොවන සංවිධාන ගැන මෙතෙක් පැමිණිලි ලැබී නැතැයි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න පවසා තිබේ.(මව්බිම, 08-05-2023) ඉතිං පොත් පඩංගු ගැසීමෙන් ඔබ්බට ඒ් පිළිබඳ යමක් කිරීමට දැන්වත් ඔහුට හැකිවිය යුතුයි.

රටේ තැන තැන සාමකාමී විරෝධතා මතුවෙද්දී, ඒ්වා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මර්දනය කරද්දීත්, අර්බුදය උග්‍රවෙද්දීත් විටෙන් විට අමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ තබන ලද සටහන් හෙතෙම උපුටා දක්වයි.අමෙරිකන් තානාපතිනිය, සිය රාජ්‍ය තාන්ත්‍රික රහස් ප්‍රසිද්ධියේ ටව්ටර් ගිණුමේ සටහන් කරනවා සිතීම මෝන මෝඩකමක්ද? තමන් නියෝජනය කරන රටේ විදේශ ප්‍රතිපත්තියට පටහැණි නොවන, තමන්ට වැදගත් යයි හිතෙන දෑ ට්විටර් ගිණුමේ සටහන් කරන්නට ඇය, විමලෙගෙන් අවසර ගත යුතුද? අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියට පටහැණි, නීති විරෝධී කිසිවක් ඇය ප්‍රකාශ කර ඇත්ද?

අමෙරිකානු තානාපතිනිය හෝ ඔ්නෑම විදෙස් දූතයින්ට රටක මහජන නැඟිටීමක් සිදුවන අවස්ථාවක එය රටේ අභ්‍යන්තර ආරක්ෂාව, කලාපයේ ආරක්ෂාව, තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කෙරෙහි බලපවත්වන අන්දම, ජාත්‍යන්තර වෙළෙඳාම හා නොයෙකුත් ගිවිසුම්වලට සිදුකරන බලපෑම ආදිය පිළිබඳ ඔවුන් දැනගත යුතුමය. සිය රටට ඒ් පිළිබඳ වාර්තා කළ යුතුය. ඒ් සඳහා ඔවුන් පාලකයින් මෙන්ම පක්ෂ විපක්ෂ, බලපෑම් කණ්ඩායම්වල නියෝජිතයින් හමුවිය යුතු නම් එසේ කළ යුතුය. එහෙත් තානාපති සේවයක් කුමකටදැයි යන්න පවා නොදන්නා තොත්ත බබෙකුට නම් ඒ්වා මැජික් වීම අහම්යක් නෙවෙයි. මේ නිසාම මෙම පොත් පඩංගුව පුරාම අතිශය සාමාන්‍ය කරුණු අති විශේෂීකරණයකට ලක්කර තිබෙන බව අවධාරණය කළ යුතුයි.

02.පරස්පරතාවන් බහුලය

මෙම පොත් පඩංගුවේ එකිනෙකට පරස්පර කරුණු බොහෝයි. විමලෙ මෙසේ ලියයි.

”ගාලුමුවදොර අරගලයේ තීරණාත්මක ආරම්භය ලෙස සැලකිය හැක්කේ 2022 මාර්තු 31 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචිව සිටි පෞද්ගලික නිවස අසළ එනම් මිරිහානේ ඇති වූ විරෝධයයි.( 26-පිටුව) මෙම කියමන දෝෂ සහිතයි. හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර විසින් එම විරෝධය දැක්වූයේ ඊට දින කිහිපයකට පෙරය. ඒ් නිසාම ඔහු තවත් තැනක ඒ් පිළිබඳ මෙසේ සටහන් කරයි.

“ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද “පසුගිය සමයේ සිදුවූ කඩාකප්පල්කාරී සිදුවීම් කාල පරාසය තුළදී යුද හමුදාවෙන් හා රාජ්‍ය බුද්ධි සේවයෙන් සිදුවූ යම් අඩු පාඩු ඇත්දැයි විමර්ශනය කිරීමට පත්කරන ලද විමර්ශන කමිටු වාර්තාව” දැක්වෙන පරිදි 1 වෙනි කරුණ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් 2022 මාර්.තු 5 වැනි දින පැඟිරිවත්ත, මිරිහානදදී මෙහෙයවන ලද විරෝධතා ව්‍යාපාරය ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් අනපේක්ෂිත තත්ත්වයකට පත් කළේය” (පිටුව 28) .

විමලෙට කමිටුව වාර්තාව ලැබෙන්නේ , 26 වෙනි පිටුව ලියා සංස්කරණය කිරීමෙන් පසුවද? එසේ ලැබුණද, තමන් එකිනෙකට පරස්පර අදහසක් ලියා තබන්නේ නම් හෝ කාලානුරූප තොරතුරු වල වෙනසක් ඇත්නම් ඒ් පිළිබඳ සංදර්භය පැහැදිලි කළ යුතු නෙවෙයිද? එහෙත් මෙහි එවැන්නක් දක්නට නොලැබෙයි.
ගෝඨභය රාජපක්ෂ, ‘ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට’ කඩේ යන දවස්වල විමලෙගෙ කටේ වූයේ ඔහු, කිසිදු විදේශීය බලවේගයකට නතු නොවන ‘ලී ක්වාන් යූ’ කෙනෙක් බවයි. මහින්ද රාජපක්ෂ යනු මහතිර් මොහොමඩ් කෙනෙක් බවයි. ඉතිං මේ රට ඒ් දෙදෙනාගේ නායකත්වයෙන් සුරපුරයක් වනු ඇති බවයි. එ‍හෙත් ඔහු මේ පොත් පඩංගුව තුළ ලියන්නේ ගෝඨාභයට හෝ බැසිල්ට කිසිදු දැනුමක් හෝ අවබෝධයක් නැති බවයි.

“ජනාධිපති ගෝඨාභයට හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එවැනි අවබෝධයක් නොතිබුණද, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරට එබඳු අවබෝධයක් නොතිබුණා යයි සිතිය නොහැකිය. බොහෝ විට ඔහු අයත් වන්නේ , අර්බුදය උග්‍ර වන්නට ඉඩහැර හා අර්බුදය සමනය කිරීමට අවශ්‍ය පූර්ව පියවර නොගෙන සිටීමට සිතාමතා ක්‍රියා කළ ආර්ථික ඝාතකයෙකුගේ වර්ගීකරණයට බැව් පැහැදිලිය. ( 25 පිටුව)

පීබීට, ප්‍රසිද්ධියේ ‘ආර්ථික ඝාතකයා” යයි කෑමොර දුන්නු විමලෙම, පීබීගෙන් ඇමති කට්ට වෙනුවෙන් ලිපිය බාර ගැනීම කොයිතරම් නවනින්දාවක්ද? එහෙත් ලජ්ජාවක් ගෑවීලාවත් නැති හින්දම, පීබීට පසුදා සිට ‘සර්’ කියන්නට ඔහුට පුළුවන් බව අප විසින් අමතක නොකළ යුතුයි.

පොත් පඩංගුවේ තවත් තැනක, එනම් 35 වන පිටුවේ දැක්වෙන්නේ අමෙරිකානු තානාපතිනිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට උපදෙස් ලබාදීම නිසා ඔහු විසින් අරගලකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගත් බවයි. ඔහුගේම වචනයෙන් කිවහොත් ජනාධිපතිවරයා සමඟ ඇය පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලය මෙයයි.

” එම සාකච්ඡා මගින් අරගලයට එරෙහිව කිසිදු පියවරක් නොගෙන සිටීමේ මානසිකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත් කරවා ගැනීමට ඇයට හැකිවිය. අඩුම තරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අවහිර කරනු ලැබූ දොරටුව විවෘත කර ගැනීමටවත් ඔහු නියෝග නොකළේ ඒ් නිසාය. (පිටුව 35)

එහෙව් කොන්ද පණ නැති නායකයෙකු බලයට ගෙන ඒ්මට තමන් ඉටු කළ වැඩ කොටස ගැන වගේ වගක් නොකියන මෙම අවස්ථාවාදියා, ‘මීට පස්සෙ මැදමුලන පැත්ත පළාතේ මගේ බල්ලාවත් යන්නේ නෑ” යයි කීවත්, අද දවසේද, පුරුදු පරිදි ඩබල් ගේම ගසමින් සිටියි. ”අපි දැන් එයාලා එක්ක නෑ” යයි ලොරි ටෝක් දෙන අතරේ මහින්ද රාජපක්ෂගේ වෙසක් දන්සලේ කඩල බෙදන්නට බිරිඳ යවන්නේ මේ පඩංගු කියවන පාඨකයා රැවටිය යුතු වුණත්, තමන්ගේ තක්කඩිකම පෙර පරිදිම නඩත්තු කළ යුතු හින්දමයි.

03. .හිතාමතා කරුණු විකෘති කිරීම හා අසත්‍ය කරුණු පුන පුනා ඉදිරිපත් කිරීම

තමන්ගේද, තම අනුග්‍රාහක භවතා වන චීනයේද වුවමනාව වෙනුවෙන් විලිලජ්ජාවක් නැතිවම හැසිරෙන පරිද්දෙන්ම දැන දැනම, හිතා මතාම අරගලයේ තොරතුරු විකෘති කිරීමත්, රිසි පරිදි පට්ට බේගල් ඇදබෑමත් මෙහිදී සිදුව තිබෙනවා. මෙම කෘතියට පෙරවදනක් සපයන කතුවරයා, ගාලු මුවදොර අරගලයේ මුල් පැය කිහිපය තුළ හොකොං රජයේ ධජය ඔසවා තිබුණු දුටු බව කියයි. එය චීනය හා හොංකොං අතර ඇතැයි කියා ඔහු විශ්වාස කරන මත ගැටමුක් පිළිබඳ ඔහුගේම මනෝභ්‍රාන්තියක පිළිඹිබුවක් මිස එහි කිසිදු සත්‍යතාවක් නම් නෑ. තමන් කියන දේ තහවුරු කරනු පිණිස නිල සාක්ෂි නොමැති හෙයින් එන්.ජී.ඔ් වැඩසටහන් පිළිබඳ ෆේස්බුක් දැන්වීම්, කරුණු ලෙස පාවිච්චි කරන විමලේ, හොංකොං කතාවට අදාළව ඡායාරූපයක් හෝ පෙන්වන්නේ නැත. ඉදිරි මුද්‍රණයකදී ෆොටෝෂොප් ආශ්‍රයෙන් අරගලයේ ඡායාරූපයක් අස්සට හොංකොං කොඩියක් එලාගැනීමට කල්පනා කරන්නට ඔහුට සිදුවනු ඇත.

තවත් තැනක හෙතෙම මෙසේ ලියයි.

“මාර්තු 31 සිදුවූ මෙකී බරපතළ කලහකාරී සිදුවීම් හමුවේ පවා අතිරේක හමුදා සහය ලබාගැනීමට ජනාධිපතිවරයා අසමත්ව තිබීමය. ජනාධිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් ඒ් සඳහා කොතෙක් උත්සාහ කර තිබුණද, ඒ් උත්සාහයන් අසාර්ථක වී තිබුණේ පුදුමාකාර ලෙසය. යුද හමුදාපතිවරයා ඒ් වන විට හිටියේ කොළඹ තරු පන්තියේ හෝටලයක පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමිනි. ඔහු අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ තරමක් රෑ බෝ වීමෙන් පසුවය. (පිටුව 28)

සැබවින්ම මේ කියන විවාහ මංගල්‍යය රාජපක්ෂ පවුලේ ජ්‍යේෂ්ඨයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍ය බැව් විමලෙ නොදැන සිටියා විය නොහැකියි. එය කියා සිටියහොත්, ශවේන්ද්‍ර ඊට සහභාගි වීමෙන් රාජපක්ෂලා හා ශවේන්ද්‍ර අතර ඇති සමීප සම්බන්ධතාවය අනාවරණය වන බැවින් තමන්ගේ පොත් කඩමාල්ලේ ගොඩනඟන කෙප්පයට එය බාධාවක් නිසාම, ඔහු දැන දැනම කරුණු විකෘති කරයි. ශවේන්ද්‍ර .පමණක් නොව මිරිහානේ නිවස වටලන විටත් ජනාධිපතිවරයාද සිටියේ ශවේන්ද්‍ර සමඟ මෙම විවාහ මංගල්‍යයට සහභාගිවී ඔහු අසළමයි. අවශ්‍ය නම් අවශ්‍ය උපදෙස් නොපමාව ලබාදිය හැකිව තිබුණු බවට විමලෙට මොංගල් වුවද, ගහ දන්නා උන්ට කොල කඩාපාන්නට වුවමනා නෙවෙයි.

අනෙක් අතට සිවිල් ජනරාශියක් මැඩපවත්වන්න හමුදාවට බලයක් නැති බව හා මේ මොහොත වනවිටත්, යුද හමුදාවට හදිසි රෙගුලාසි යටතේ තත්ත්වය මැඩපවත්වන්නට ගැසට් නිවේදනයක් මගින් බලය පැවරීමක් කර නොතිබුණු බවත් විමලෙ නොදනියි. එක් තැනක අමෙරිකානු තානාපතිනියගේ බලපෑම මත, ගෝඨාභය විසින් දැඩි ක්‍රියාමාර්ග නොගත් බව කියනා අතරේම මෙතනදී යුද හමුදාපතිවරයාට නිසි බලය පැවරීමක් සේනාධිපතිවරයා ලෙස ගෝඨා විසින් සිදුනොකළ බව නොකියයි. ගෝඨා බබා කරමින් ශවේන්ද්‍රව උල තියන්නට මාන බලයි.

මෙහෙව් වාතාවරණයකදී , නීතිමය තත්ත්වය පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා විමලෙ, පොලීසිය බලය මදි යයි හැඟී යන්නේ නම් ළඟම හමුදා කඳවුරෙන් සහය ඉල්ලීමට පොලීසියට හැකි බව නොදනියි. එයට බලය පැවරීමක් අවශ්‍ය නෙවෙයි. එහෙත් එවැනි අවස්ථාවක, ඒ් සියලුම සිදුවීම් සම්බන්ධයෙන් සටහන් යෙදිය යුත්තේ පොලීසියයි. යුද්ධයේ අවසාන අදියර තුළ උතුරේ පවා මැරුණු මිනිසුන්, අහිමිවූ දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවෙ පොලීසියයි. යුද්ධයේ අවසාන අදියර තුළ නෙල්ල්අඩි පොලිස් බල ප්‍රදේශය තුළ පමණක් මිය ගිය පිරිස 19,000ක් බවට පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණු බව මෙහිලා සිහිපත් කන්නට පුළුවන්. එසේ නොමැතිව යුද හමුදාවට අධිකරණයට කරුණු දැක්විය හැක්කේ යුද නීතිය පනවා ඇත්නම් පමණයි. යුද හමුදාවට හදිසි නීතිය යටතේ පවා වෙඩි තැබිය නොහැකි අතර . රතුපස්වල සිද්ධියට අදාළ නඩු විභාගය ගැනවත් අධ්‍යයනය කරන්‍නේ නම් මේ කරුණු වටහා ගැනීමට විමලෙට අවස්ථාව තිබුණු බව මතක් කළ යුතුයි.

04. මෙම විනාශයට තමන්ගේ දායකත්වය කෙබඳුදැයි විග්‍රහ කර නොතිබීම

අරගලයට පසුබිම සකස්වීම පිළිබඳ පොත් පඩංගුවේ මෙසේ දැක්වෙයි.

” 2021 ගුරු වර්ජනය ආණ්ඩුවම නිකුත් කර තිබූ ‘වාර්තාවක්’ හේතු කොට ගෙන පැන නැගුණකි. එයටද විසඳුම් ලබාදුන්නේ සැලකිය යුතු අපවාදයකට ආණ්ඩුව ලක්වීමෙන් අනතුරුවය. ඒ් අතරට ඒක්වරම රසායනික පොහොර තහනම නමැති තකතීරු තීරණය හරහා රාජපක්ෂ පාලනයේ ප්‍රධාන පදනම් බලවේගය වූ ගොවි ජනතාව ආණ්ඩු විරෝධීන් බවට පත්කරනු ලැබිණි. ඒ් අතරතුර ගෑස් සිලින්ඩර් පුපුරා යාම්ද, වාර්තා වන්නට විය. ඒ් ලාභ ඉපයීම සඳහා ඒ්වායේ රසායනික සංයුතියේ සිදුකර තිබූ වෙනස්කම් හේතුකොට ගෙනය. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, හිඟවීම හා ඉන්ධන මිල ඉහළයාම හේතුකොට ගෙන ආහාර මිල ඉහළයාම සමඟ ජනතාවගේ පීඩනය උත්සන්න විය. එහෙත් තුන්කල් බලා පාර්ලිමේන්තුවට පැමිණි රනිල්, අගමැති කිරුළ හිස පැළඳගත්තේ අර්බුදයෙ බරපතළ වගඋත්තරකරුවෙකු ලෙස නොව අර්බුදයේ ගැලවුම්කරුවෙකු ලෙසය. (පිටුව 63)

2022 මාර්තු 03 වන දින ඇමතිකම්වලින් දොට්ට දමනතුරුම විමලෙ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ බව අමතක නොකළ යුතුයි. හෙතෙම කැබිනට් තීන්දු තීරණවලට සාමූහිකව වගකීමට බැඳී සිටියේය. අර්බුදයට හේතු සාධක වුණු හැමදේටම තමන්ද වගකිව යුතු බව ඔහුට සිහිපත් නොවීම කනගාටුවට කරුණක්. එය කුමන්ත්‍රණයක් නම් එකී කුමන්ත්‍රණයට වූ තමන්ගේ දායකත්වය ගැන කිසිදු ස්වයං විවේචනයක් මේ පොත් පඩංගුවේ දකින්නට නොමැති වීම අඩුවක්.

මේ පිළිබඳව තවදුරටත් කියනට තවත් උපුටා දැක්වීමකට යන්නට පුළුවන්.

”ශ්‍රී ලංකාවෙ ආර්ථික අර්බුදය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් 182 දෙනකු පසුගියදා (2023) සාමූහිකව නිකුත් කරන ලද වාර්තාවකද, අවධාරණය කර තිබිණි. එහි පෙන්වා දී තිබුණු පරිදි, ශ්‍රී ලංකාව ණය උගුලක සහ ගෙවුම් ශේෂ අර්බුදයක හිරවන්නේ මූලික වශයෙන් පහත සඳහන් හේතු නිසාය.
01. රාජ්‍ය ප්‍රතිපත්ති කළමනාකරණය කිරීමේ වැරදි
02.වගකීම් විරහිත ණය ගැනීම
03.දේශපාලනඥයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වංචා හා දූෂණ
04.රාජ්‍ය පාලනය ලිහිල් කිරීම, විශේෂයෙන් විදේශ විනිමය පාලනයට අදාළව. (පිටුව 60-61)

මේ ආකාරයට දිගින් දිගටම මෙම පඩංගුවේ කඩදාසි අස්සේ කොරවක්කෙකු සේ තමන්ගේ හිස හංගා ගැනීමට විමලෙ හිතුවද, තමන් ආරක්ෂිතයයි හිතුවද, පස්ස පැත්ත එළියේය. දිගින් දිගටම මෙකී සියලු වැරදිවලට අඩු වැඩි වශයෙන් වගකිව යුතුමයි. ඔහුම ඉහතින් උපුටා දක්වා ඇති පරිදි වගකීම් විරහිත ණය ගැනීම ගැන කීමේදී, සැකෙවින් වුවත් යමක් කිව යුතුමය.

ලංකාව ණය උගුලක හිරකිරීමට හේතුවුණේ ලෝක බැංකුවෙන් ගත්තු ණය විතරක් නෙවෙයි. එහිදී චීන ණයට හිමිවෙන්නේ වැදගත් ස්ථානයක්. 2010-2015 කියන්නේ චීනයෙන් ණය ලැබුණු ස්වර්ණමය යුගය. එහි වටිනාකම අ.ඩොලර් මිලියන 5340ක්. එනම් ඒ් වෙද්දි ලැබුණු ණය ආධාරවලින් 39%ක්. කෙසේ වෙතත් ණය ව්‍යාපෘති නියාමනය කිරීමේදී පෙර පැවති පොදු නියාමන රාමුව සහ රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රමවේදය නොසලකා ඉල්ලුම් නොකළ යෝජනා (Unsolicited Proposal) කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේත් මේ කාලයේදීමයි. ඒ් චීන ව්‍යාපෘති සඳහාමයි. චීනයේ සමාගම්විසින් සකස් කළ (රටේ අවශ්‍යතාව නොතකා) චීන එක්සිම් හා සීඩීබී බැංකු හරහාම ලබාදෙන මෙම ව්‍යාපෘතිවල ට මෙකල පැවති ආණ්ඩුවල බලධාරීන් හිස නැමුවේද, ඒවායින් ලැබෙන කොමිස් කුට්ටි නිසාමයි.

අදායම් වෙනුවට වියදම් විතරක් ලබාදුන් උසම කුලුනු, නැව් නොඑන වරායන්, ගුවන් යානා නොඑන ගුවන්තොටුපළවල් හැදුණේ ඒ් වෙනුවෙන්. මේ සියලු ව්‍යාපෘති හා සැලසුම් වෙනුවෙන් ක්‍රියාත්මක වුණු ආණ්ඩුවල විමලෙද, කැබිනට්ටුව නියෝජනය කරමින් මේ කාර්යයන් වෙනුවෙන් අත ඉස්සූ බව අමතක නොකළ යුතුයි.

මේ අයුරින් ලබාගත් ණය වලින් එනම් විදෙස් ණය වලින් කෝටි 31, 309 ට සිදුවූ දෙයක් නොමැති බව පසුගියදා විගණනයෙන් අනාවරණය වුණා. ඉතිං විමලෙට තමන්ගේ දෑත් පහසුවෙන් පිසදාගත හැකිද? අනෙක් අතට මෙම පොත් කඩමාල්ල තුළ පවා අමෙරිකාව, ඉන්දියාව සතුරා කරමින් අවසාන පිටු කිහිපය තුළ උත්සාහ දරා ඇත්තේ චීනයේ සුදුහුණු ගාන්නටමයි.
ඒ් තුළින් පවා පෙනී යන්නේ රට මේ සා අර්බුදයකට ඇද දමන්නට පසුබිම සැකසූ චීනය පවා තමාගේ ඔඩොක්කුවට දොළ පිදේණි දෙන්නේ නම් සත්‍ය කරුණු වසන් කිරීමෙන් හෝ තම බඩවියත රැක ගැනීමට වැඩකරන විමලෙගෙ පුරුදු දේශපාලනයම මිසක් වෙන යමක් මෙම පඩංගුවෙක් අනාවරණය නොවෙන බවයි. සංචිත බිංදුවට හිඳී ගොස් තිබියදී, අසූචි නැවකට මිලියන ගණනින් ගෙවන්නට සිදුවුවද, චීනාගේ තක්කඩිකම ගැන කටින් කෙළ පිඩක් වත් බිම නොහෙලූ විමලෙලා, 2022 අගෝස්තු 16 දා වන විට කලාපයේ කිසිදු වරායකින් නැවතීමට අවසර නොදුන් ආන්දෝලනාත්මක ” යුවාන්ග් වෑන් 5 ” නමැති නැව පිළිගැනීමට හම්බන්තොටට ගියේද, නිකම්ම නොවන බව දැන්වත් පිළිගත යුතුයි.

 

මෙම පොත් පඩංගුවේ තවත් තැනක මෙසේ දැක්වෙයි. අමෙරිකාවේ CIA ප්‍රධානියාද, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ජෙඩ්ඩියා පී රොයල් ඇතුළු පිරිසක් හදිසියේ පැමිණ ජනාධිපති රනිල්, ආරක්ෂක ලේකම් කමල්, බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ හමුවී තිබේ. ඔවුන් ප්‍රධාන තීරණ 4ක් ගත් බව කියයි. විමලෙට අනුව ඒ්වා පහත පරිදියි.

01. ශ්‍රී ලංකා දුරකථන ජාලා සමඟ සම්බන්ධිත සාගර හරහා දිවෙන දුරකථන සන්නිවේදන ‘කේබලය’ තුළට ඇතුළුවීමට ඔවුන්ට අවස්ථාව හිමිකර ගැනීමය. එමගින් ශ්‍රී ලංකාවට යන එන සෑම දුරකථන සාකච්ඡාවකටම ඇහුන්කන්දීමේ හැකියාව අමෙරිකානු ඔත්තු සේසාවන්ට හිමිවේ.

02. අමෙරිකා එක්සත් ජනපදය විසින් පිරිනමන විශේෂ මෘදුකාංගයක් ශ්‍රී ලංකා ගුවන්තොටුපළ තුළ සවිකර , ශ්‍රී ලංකාවට යන එන සහ සියලු මගීන්ගෙ ජීවදත්ත ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම.

03. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළම තීරකයා බවට අමෙරිකානු බුද්ධි නිලධාරියෙකු පත් කිරීමට අවශ්‍ය එකඟතාව.

04. වීසා අවසරයකින් හෝ පරීක්ෂා කිරීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අවි අතැතිව අමෙරිකානු ආරක්ෂක හමුදාවන්ට නිදහසේ සැරිසැරීමට අවස්ථාව එළඹෙන පරිදි ෂෝෆා ගිවිසුම ක්‍රියාත්මක කිරීම.

කෘතියේ දැක්වෙන පරිදි මෙහි 1,2,3 යන සියලු අමෙරිකානු ඉල්ලීම්වලට ජනාධිපතිවරයා එකඟවී ඇත. 04 වැනි කරුණ සම්බන්ධව පමණක් ‘තවදුරටත් සාකච්ඡා කිරීමට’ එකඟ වී තිබේ. (පිටුව 107-108)

පොත් පඩංගුවේ දැක්වෙන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමට හේතු වූයේ චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ ලිපිය ලබාදීම නිසා පමණක් නොව මෙම ඉහත එකඟතාවන්ද නිසාය. එය සැබෑවක් යයි කියමු. එහෙත් ඔහු නොකියන්නේ කුමක්ද? අමෙරිකාවට එවන් අතපෙවීම් කිරීමට හැකිව ඇත්තේ තමන් කැබිනට් ඇමති ධූර දැරූ රජයන්, තමන් විසින් බලයට ගෙනා අමෙරිකානු පුරවැසියන් විසින් එළඹෙන ලද ගිවිසුම් නිසා බවයි. ඒ් හින්දාම ඒ් අතීතය සිහිපත් කර දිය යුතුමයි.

සෝෆා සහ ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුම (ඇක්සා) මීට පෙර අත්සන් තැබූ එවැනි ගිවිසුම්ය. අමෙරිකා එක්සත් ජනපදය විසින් සෝෆා ගිවිසුම පළමු වරට අත්සන් කරන ලද්දේ පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ 1995 වසරේදීය. විමලෙගෙ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂද, එවක එය අනුමත කළ කැබිනට් ඇමතිවරයෙකි. එහි දෙවනි අදියර වන 2007 මාර්තු 5 දා අත්සන් කරනු ලැබූ ඇක්සා ගිවිසුම අත්සන් තබන ලද්දේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් පවා තොරවයි. එම ගිවිසුම අත්සන් කළ එක්සත් ජනපද නියෝජිතයා එවකට අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වූ අතර ශ්‍රී ලංකාවේ නියෝජිතයා වූයේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, පසුව ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂයි.

සෘජුවම අමෙරිකානු හමුදාවට යුද ආධාර සපයන, අමෙරිකානු හමුදාවට වීසා නොමැතිව, කිසිදු පරීක්ෂාවකින් තොරව රට තුළ හැසිරීමේ අයිතිය ලබා දෙන එවැනි ගිවිසුමක් පවා කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියක් නොමැතිව අත්සන් කිරීමට එවකට පැවැති, විමලෙලාද සිටි, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේ එහෙමයි. දැන් කිඹුල් කඳුළු හෙළන විමලෙලා අපට අමතක යයි හිතන්නේ මෙකී ඉතිහාසයයි. රනිල්ට ඇඟිල්ලක් දිගු කරන විට තවත් ඇඟිලි 4ක් තමන් දෙසට එල්ලවී ඇති බව ඔහුට නොපෙණුනත්, අපට පැහැදිලිව පෙනෙන්නේ ඒ් නිසයි.

අරගලයේ අවසාන අදියර තුළ සිදුවෙමින් පැවති දේ යයි විමලෙ මෙවැන්නක් කියයි.

“සියලු කරුණු පැහැදිලිව විමර්ශනය කරන ලද කල්හි නිගමනය කළ හැක්කේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිවරියට අවශ්‍යව තිබුණේ තවත් ලිබියාවක් බවට ශ්‍රී ලංකාව පත් කරගැනීම බවය. ලිබියාවේ පාලකයාව සිටි මුවම්මර් ගඩාෆි මහ මග මරාදැමීමෙන් පසුව ලිබියාවට හඳුන්වාදුන්නේ එහි ඒ් වන විට සිටි කථානායකවරයා මූලික කොටගත්, තවත් විවිධ අංශ නියෝජනය වන පරිදි අටවාගත් ඊනියා අන්තර්කාලීන පාලනයකි. කථානායකවරයා ඇයගේ යෝජනාවට එකඟ වූයේ නම් බොහෝවිට ඇටවිය හැකිව තිබුණේ එවැන්නකි. (පිටුව 100).

ඒ් මොහොතේ රටේ පැවති තත්ත්වයවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්නා ප්‍රතිපාදන ගැනවත් උකුණු හිසක තරම්වත් මොළයක්, මේ ඊනියා ලේඛකයාට තිබුණා නම් මෙවන් මරිමෝඩ කතාවක් කියනු නැත. අමෙරිකානු තානාපතිනියට පමණක් නොව මොන තානාපති කෙනෙකුට වුවත්, අදාළ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා විධිවිධාන ගැන අවබෝධයක් තිබීම වැදගත්ය. විමලෙට නොතිබුණු අමෙරිකානු තානාපතිනියට තිබුණු අවබෝධය ගැන කියනවානම් මෙහෙමයි.

ජනාධිපතිවරයකු ඉල්ලා අස්වේනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුව කළ යුත්තේ අත්සන් සහිත ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට භාරදීමයි. ජනාධිපති ධූරය සඳහා පුරප්පාඩුවක් ඇති වන්නේ ඒ් අවස්ථාවේ සිටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය පුරප්පාඩු වූ පසු අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා. අගමැතිවරයාට එසේ කළ නොහැකි නම් කථානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වෙනවා. අගමැති ධූරය හිස්ව පැවති මොහොතක, ජනාධිපතිවරයා පවා පලාගොස් සිටි අවස්ථාවක, ජනාධිපති ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වන්නට පෙර අගමැතිවරයෙකු පත් නොකළේ නම්, පැවති එකම ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපාදනය වන්නේ කථානායකවරයා ප්‍රමුඛ අන්තර්වාර පාලනයක්මය.

මේ පොත් පඩංගුව ආරම්භවේදීම ගාලුමුවදොර පදනම් කරගනිමින් පැවති අරගලයත්, යුක්‍රෙනයේ මයිදාන් අරගලයත් එකම පිටපතකට අනුව රඟදැක්වුණු නාටකයක් බැව් කියයි. විකිපීඩියා සටහන්, ගූගල් ට්‍රාන්ස්ලේට් කර බලන්නේ නම් පමණක් කෙනෙකුට පහසුවෙන් එ‍වැනි මතයකට එළඹීමට පුළුවන්. ඒ්ත් මයිදාන් අරගලය ගැන ගැඹුරින්, පුළුල්ව කෙරුණු ශාස්ත්‍රීය පර්යේෂණයන් බොහෝ තිබෙන බවත්, ඒ්වා මේසා සරල මතික නොවන බවත් විමලෙලා දන්නේ නැත. Vjosa Musliu සහ Olga Burlyuk විසින් රචිත “යුක්‍රේනය පරිකල්පනය කරමින්-මයිදාන් විරෝධයේ ඉතිහාසය හා මිථ්‍යිාවන්” ( Imagining Ukraine: From History and Myths to Maidan Protests )- (SAGE journals 33 වන වෙළුම /3 වෙනි කාලපය ) නමැති පර්යේෂණ පත්‍රිකාවට අනුව යුක්‍රේනය රුසියාව ලෙස, යුක්‍රේනය රුසියාව නොවන ලෙස, යුක්‍රේනය යුරෝපය ලෙස, යුක්‍රේනය යුරෝපය නොවන ලෙස ආදී වශයෙන් අරගලයට පසුබිම් සැකසුණු ආර්ථික, සමාජීය, දේශපාලනික, සංස්කෘතික කාරණා ගැඹුරින් සාකච්ඡාවට ලක් කරයි. පර්යේෂණ පත්‍රිකාව තුළම පවා බහුවිධ කියැවීමකට ඉඩහසර ලබාදී තිබේ. අවාසනාවකට විමලෙලාට ඒ්වා කියන්නට ලැබී නැති බව මෙවන් ඒ්කකෘතික මතුපිට කියවීම් වලින් පැහැදිලි වෙයි.

අරගලයට දායක වුණු යූ ටියුබ් සන්නිවේදකයෙකු වූ රැට්ටා හෙවත් රතිදු, මෙහි රැට්ටා (නම නොකිකයයි) තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමට බැරවුණු ලක්ෂ 50ක මුදල පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීම ගැනද, විමලෙ සෝපහාසයෙන් කතා කරයි.

“නොදන්නා පුද්ගලයෙකු එපමණ මුදලක් කවරෙකුගේ හෝ ගිණුමකට බැර කළ අවස්ථාවක් අප මීට පෙර අසා නැත” (පිටුව 109)

විමලෙ මීට පෙර අසා නොව ක්‍රියාත්මක කළ නාට්‍යයක් මෙහිදී සිහිපත් කළ යුතුමයි. තමන් සේම තුට්ටු දෙකක් නොවටිනා මුසම්මිල් නමැත්තා, අල්ලස් දී තමන්ගෙ පැත්තට නම්මවා ගැනීමට 2010 ජනාධිපතිවරණ සමයේ සරත් ෆොන්සේකා විසින් උත්සාහ කරන බවට පුවත්පත් සාකච්ඡාවකදී නාට්‍යයක් රඟ දැක්වීමට දරපු උත්සාහය අන්තිම මොහොතේ ව්‍යර්ථව ගියා. සාකච්ඡාව පැවති ඉහළ මාලයේ හා පහල කැමරා දෙකක් ස්ථාන ගත කරන ලෙස කල් තියාම තමන්ට වන්දිභට්ට කම් කරන ප්‍රධාන චැනල් දෙකකට දැනුම් දී කරන ලද එම නාට්‍යය ගැන තියෙන අත්දැකීම නිසාම, අනිත් හැම එකාමත් තමන් වැනිම තක්කඩින් යයි විමලෙලා කල්පනා කිරීම එක අතකට සාධාරණයි තමයි.

තමන්ගේ මජර දේශපාලන න්‍යාය පත්‍රයට අනුව තමන් පාහරකම් නොසලකා, තැනින් තැනින් එල්ලා වැටෙන කැලි කසළ කැබලි ටිකක් ගලපා කොලාජ් චිත්‍රයක් මවන්නට විමලෙ දැරූ නින්දිත උත්සාහය අසාර්ථකයි. මේ විදිහට තමන් අහල දැනගත්තු තොරතුරු ටිකක්, කුතුහලය හා ත්‍රාසය දැනවෙන විදිහට අමුණා ප්‍රබන්ධයක් රචනා කරන්නට සුදුසු මාතෘකා ටිකක් මතක් කරලා දීලා විමලෙට උදව් කරන්නට කැමතියි.
මාවරමණ්ඩියේ කමියුනිකේෂන් එකක් කරපු ගැහැනියක් හදිසියේ කෝටිපතිනියක් බවට පත්වීම, හැඳුනුම්පත් දෙකයි පාස්පොට් දෙකයි නඩුවට වැරදිකරු වෙලා ඉන්න ගැහැනියකට යහතින් ඉන්න ලැබෙන්නෙ කොහොමද?, හෝකන්දර ගෙදර මත්පැන් හා ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් සහිත තරුණයෙකුගේ මළ සිරුරක් හමුවීම, නිවාස ඇමතිව සිටියදී කහතුඩුවෙ හදපු ගෙවල් ටික දුන්නෙ කාටද?, දියවන්නාව කිට්ටුව හදපු කෙසෙලේ කොලේ බස් හෝල්ට් එක..ආදී වශයෙන් මේ ලැයිස්තුව තව දිගු කරන්නත් පුළුවන්. දැනට එහෙම අවශ්‍ය නෑ.
“නවය සැඟවුණු කතාවේ” හැංගිච්චි දෙයක්වත්, හංගන්න දෙයක් වත් නැති බවත්, පඳුරක් අස්සෙ ඔළුව විතරක් හංගා ගත්තු කොරවක්කෙකුගේ එළියෙ තියෙන පස්ස පැත්ත විතරක් පෙනෙන බවත් අවසාන වශයෙන් කියන්නම්.

– ප්‍රියාන් ආර් විජේබණ්ඩාර