September 29, 2024

කලදුගොඩ කංකානම්ගේ පියදාස නැතහොත් කේ.කේ.පියදාස පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වැද හත්වැනි ස්ථානයට පැමිණියේ ඇතැම් ප්‍රකට දේශපාලන චරිත පවා අභිබවා යමිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ව්‍යාපාරිකයකු වන පියදාසට රූපවාහිනී සාකච්ඡා, මැතිවරණ රැස්වීම්, කටවුට් හෝ පත්‍රිකා නොමැතිව ඡන්ද 47,543ක් (0.36%) ලැබී තිබිණි.

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂක නුවන් බෝපගේ සහ සමහර මැතිවරණ කොට්ඨාසවලදී ව්‍යවසායකයකු වූ දිලිත් ජයවීර ද ඉක්මවා ඡන්ද ලබා ගැනීමට හැකි වී තිබිණි.

එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ මන්ත්‍රීවරයකු වූ මොහුට යාපනය, මඩකලපුව, මහනුවර සහ නුවරඑළිය වැනි ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහාය ද ලැබී තිබිණි.

පොළොන්නරුව හැර සෙසු දිස්ත්‍රික්කවලින් ඡන්ද 1000කට වැඩි ප්‍රමාණයක් ලබා ගත් ඔහු පොළොන්නරුවෙන් ලබා ගෙන තිබුණේ ඡන්ද 824ක් පමණි.

“මම හෝටල් ව්‍යාපාරයේ කොටසක් ලෙස උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල විශාල වශයෙන් සංචාරය කර මේ ප්‍රදේශවල බොහෝ පුද්ගලයන් දැන හඳුනා ගත් කෙනෙක්. මට ඡන්දය දුන් ජනතාව දන්නවා මම ජාති, ආගම් හෝ වෙනත් භේදයකින් තොරව සැමට එක හා සමානව සළකන මිනිහෙක් කියලා.” යනුවෙන් සම්මුඛ සාකච්ඡාවකදී පියදාස පවසා ඇත.

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රදේශයේ ගමක දිළිඳු පවුලක උපත ලද ඔහු කුඩා කල සිටම විවිධ ව්‍යාපාරවල නිරත වෙමින් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කර 1971 වසරේ නුවරඑළියේ පදිංචි වීමට තීරණය කර තිබිණි.

එතැන් සිට ඔහු නුවරඑළියේ වාසය කරන ඔහුට දැන් කුඩා හෝටල් කිහිපයක් අයත්වේ.

“මම කුඩා කාලයේ සිටම ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ දැඩි රසිකයෙක් නිසා දේශපාලනයට උනන්දු වුණා. මම බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරකම්වල නිරත වුණා. ගාමිණී දිසානායක, අනුර බණ්ඩාරනායක, එස්. තොණ්ඩමන් ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් මම දැන හඳුනා ගත්තා” යනුවෙන් පහු ප්‍රකාශ කර තිබේ.

1994 දී ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ වූ ඔහු මධ්‍යම පළාත් සභාවට තරග කර එහි විපක්ෂ නායකයා බවට පත්විය.

2001 වසරේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 54,206ක් ලබා ගනිමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

අනතුරුව 2004 වසරේ පැවැති හදිසි මහ මැතිවරණයේදී පියදාසට අසුන අහිමි විය.

ඔහු 2010 දී ද තරග කර පරාජය වූ නමුත් 2015 මහ මැතිවරණයේදී දිස්ත්‍රික්කයේ ඡන්ද 48,365ක් ලබා ගනිමින් ආසනයක් දිනා ගත්තේය.

“මන්ත්‍රීවරයකු ලෙස සිටි කාලය තුළ මම නුවරඑළියේ ජනතාවට මට හැකි උපරිමයෙන් උදව් කර තිබෙනවා. මම අසරණ පවුල් සඳහා මිනී පෙට්ටි 476ක් මිල දී ගෙන දුන්නා. දුප්පත් පවුල්වලට නිවාස තනා ගැනීමටත් විදුලි සම්බන්ධතා ලබා ගැනීමටත් උපකාර කළා.” යනුවෙන් පියදාස සඳහන් කරයි.

සිය දෙමළ භාෂා ප්‍රවීණතාව දිස්ත්‍රික්කයේ අය ඇතුළු බොහෝ පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට උපකාරී වූ බව ඔහු පැවසීය.

පියදාසගේ රහස වූයේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා සමඟ සුහද සබඳතා පැවැත්වීමයි.

“පාර්ලිමේන්තුවේ සිටි වසර ගණනාව තුළ මම කාටවත් මඩ ගැහුවේ නැහැ. අපි සෑම කෙනෙකුටම මානුෂීය විය යුතුයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් වැඩ කළ යුතුයි, ”යනුවෙන් ඔහු සඳහන් කරයි.

තමාට ඡන්ද 50,000කට ආසන්න ප්‍රමාණයක් ලැබුණේ ඔහු තරග කළ කැල්කියුලේටරය ලකුණ සමඟි ජන බලවේගයේ ලකුණ වූ දුරකථනය සමග ඇතැම් ඡන්දදායකයන් වරදවා වටහා ගැනීම නිසා යැයි කියන මතයට පියදාස එකඟ නොවේ.

“මට ඡන්දය දුන් අය එවැනි වරදක් කළා කියලා මම හිතන්නේ නැහැ. මම මගේ දිස්ත්‍රික්කයෙන් පමණක් පාර්ලිමේන්තුවට තරග කරන විට ඡන්ද 50,000කට වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා. ඒ නිසා සමහර අය මාව හඳුනනවා,” ඔහු පැවසීය.

75 වැනි වියේ පසුවන පියදාස පවසන්නේ තමන් මැතිවරණයකට ඉදිරිපත් වන අවසන් අවස්ථාව මෙය බවයි.

ඔහු තම ව්‍යාපාර භාර දී ඇත්තේ තම දරුවන් පස්දෙනාටය.

“ජනාධිපති ධුරයට තරඟ කරන තවත් බොහෝ දෙනෙක් දැකීමෙන් පසුව මට තරඟ කරන්න හිතුණා,” යනුවෙන් ඔහු පවසන්නේ මැතිවරණයට ඉදිරිපත් වූ අනෙක් බොහෝ දෙනෙකුට වඩා ඔහු හොඳ තැනක සිටීම ගැන තමා පුදුම නමුත් සතුටු වන බවයි.

42.31%
17.27%
32.76%