February 4, 2025

මඩකලපුවේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 20 කට වැඩි මුදලක් වංචා කිරීම සම්බන්ධයෙනි.

සැකකරු රැකියා අපේක්ෂකයන් 12 දෙනෙකු රවටා විදේශ රැකියා ලබාදීමේ පොරොන්දුව මත එක් අයකුගෙන් රුපියල් මිලියන 1.6 සිට 2 දක්වා මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මඩකලපුව කල්මුණේ පාරේ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන 29 හැවිරිදි සැකකරු 2023 වසරේදී රුමේනියාව, පෝලන්තය ඇතුළු රටවල් කිහිපයක රැකියා ලබාදීමට කටයුතු කරන බව පවසමින් එම පිරිසගෙන් මුදල් ලබාගෙන ඇත.

වසර දෙකක් ගතවී ඇතත් ඔවුන්ට රැකියා ලබාදීමට හෝ ගෙවූ මුදල් ආපසු ලබාදීමට සැකකරු අපොහොසත් වී තිබේ.

වංචාවට හසුවූවන් පවසන්නේ, සැකකරු පැවසූ පරිදි ඔහුට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර පිටපත් සහ පොලිස් වාර්තා ඇතුළු සියලුම ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවයි.

‍රැකියා හෝ මුදල් නොලැබීම හේතුවෙන් එම පිරිස මඩකලපුව අපරාධ විමර්ශන ඒකකයට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සැකකරු සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ රැකියා නියෝජිතායතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර නොමැති බවයි.

එමෙන්ම විමර්ශනවලදී විදේශ රැකියා අපේක්ෂාවෙන් පුද්ගලයන් 74 දෙනකු විසින් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ලිපිගොනු සොයාගෙන ඇත.

මඩකලපුව අපරාධ විමර්ශන ඒකකයේ සහාය ඇතිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන කණ්ඩායමක් වැටළීම සිදුකර තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.