August 30, 2026

ස්විට්සර්ලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයකු පසුගියදා මවුබිමට පැමිණි අවස්ථාවේදී කිසිසේත්ම නොසිතූ ආකාරයේ අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබෙනවා.

චොකලට්වලට ප්‍රකට ස්විට්සර්ලන්තයේ සිට පැමිණි මෙම පුද්ගලයා, ලංකාවේ සිටින නෑදෑ හිතමිතුරන්ට තෑගි දීම සඳහා විවිධ වර්ගයේ චොකලට් කිලෝ ගණනාවක් තමන්ගේ ගමන් මලුවල අසුරාගෙන පැමිණ තිබුණා.

එහෙත් ගෙදර ගොස් ගමන් මලු ඇර බලද්දී ඔහු දැක ඇත්තේ කිසිවෙකු විසින් සූක්ෂම ලෙස පෙට්ටි කඩා එහි තිබූ චොකලට් තොගයම සොරාගෙන ඇති බවයි.

මේ අමිහිරි අත්දැකීමෙන් පසුව අදාළ පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ බලධාරීන් වහාම මැදිහත් වී ගමන් මලු ආරක්ෂා කිරීම සඳහා මීට වඩා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

ඔහුගේ සමාජ මාධ්‍ය සටහනට ප්‍රතිචාර දක්වමින් තවත් බොහෝදෙනෙකු පවසා ඇත්තේ, කටුනායක ගුවන්තොටුපොළ හරහා ගමන් කිරීමේදී තමන්ගේ ගමන් මලුවල තිබූ වටිනා භාණ්ඩ ද මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

ගුවන්තොටුපොළ ගමන් මලු හසුරුවන අංශවල නිරීක්ෂණ කටයුතු සහ ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීන් වහාම පියවර ගත යුතු කාලය එළඹ ඇතැයි ජනතාව පෙන්වාදෙනවා.