
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ආදිතම මානව වැසියන් ලෙස සළකනු ලබන ශ්‍රී ලංකාවේ වැදි ජනතාවට ඉන්දියානු ගෝත්‍රික ජන කණ්ඩායම් පහක් සමඟ සමීප ජානමය බැඳීම් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ඉන්දියානු සහ ශ්‍රී ලංකා විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද මෙම සොයා ගැනීම ඉන්දීය උපමහාද්වීපයේ පැරණිතම නූතන මානව ජනගහණයේ මුල් පිළිබඳ සාක්ෂි තහවුරු කිරීමක් ද වෙයි.
නව සොයාගැනීම අනුව මෙරට වැදි ජනතාවට ඔඩිෂාවේ ඕස්ට්‍රොඒෂියානු මුන්ඩා කතා කරන සන්තාල් සහ ජුවාං ගෝත්‍රිකයන් සහ කර්නාටක, කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවල දක්නට ලැබෙන ද්‍රවිඩ භාෂාව කතා කරන ඉරුල, පනියා සහ පල්ලර් ජනකොටස් සමඟ ප්‍රබල ජානමය සමානකමක් ඇති බවයි.
මයිටොකොන්ඩ්‍රියන් විද්‍යාත්මක සඟරාවේ මේ සතියේ පළ වූ මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ වැද්දන් සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සිටි සිංහල හෝ දෙමළ ජනතාවට වඩා මෙම ගෝත්‍ර පහ සමඟ වැඩි ජානමය සමානකමක් ඇති බවයි.
“මෙය පුදුමයට කරුණක්. එමගින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව ජනගහන තුනක් එකිනෙකා සමඟ එකිනෙකට වෙනස් ලෙස අන්තර් ක්‍රියා කරමින් ජීවත් වන විස්මිත ස්ථානයක් ලෙසයි,” යනුවෙන් අදාළ අධ්‍යයනය අධීක්‍ෂණය කළ බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ ජනගහන ජාන විද්‍යාඥ ගයනේශ්වර් චෞබේ පවසයි.
“සිංහල සහ දෙමළ විශාල වශයෙන් මිශ්‍ර වී තිබෙනවා. ජානමය වශයෙන් වෙන්කර හඳුනාගත නොහැකි තරම් මිශ්‍ර වී තිබෙන බව කියන්න පුළුවන්. නමුත් වැද්දන් බොහෝ දුරට හුදකලා වී ඉඳලා, ඔවුන් සෙසු ජනවර්ග සමග මිශ්‍ර වීම ඉතා අඩුවීම නිසා ඔවුන්ගේ අනන්‍යතාව පවත්වා ගිහින් තියෙනවා,” චෞබේප්‍රකාශ කර ඇත.
පුරාවිද්‍යා කැණීම්වලින් පෙනී යන්නේ නූතන මානවයන් පසුගිය වසර 30,000ක පමණ කාලයක සිට, සමහරවිට ඊටත් වඩා දිගු කාලයක සිට ශ්‍රී ලංකාවේ සිටින බවයි.
මුලින් දඩයම් කරන්නන් වූ වැද්දන්, දිවයිනේ එකම ආදිවාසී ජනගහනය වන අතර, ඔවුන් දිවයිනේ මුල්ම වැසියන්ගෙන් සෘජුව පැවත එන්නන් ලෙස ද විශ්වාස කෙරේ.
“වැද්දන් ඔවුන්ගේ වෙනස් භාෂාව සහ සංස්කෘතිය නිසා දිගු කලක් තිස්සේ මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් සහ විද්‍යාඥයන් කුතුහලයට පත් කර තිබෙනවා. අපගේ අධ්‍යයනයෙන් ඔවුන්ගේ ජානමය සම්භවය සහ ඉන්දියානු ජනගහනය සමඟ ඇති බැඳීම් හෙළිදරව් කර තිබෙනවා,” යනුවෙන් හයිද්‍රාබාද්හි සෛලීය සහ අණුක ජීව විද්‍යා මධ්‍යස්ථානයේ විද්‍යාඥයකු සහ අධ්‍යයන සහයෝගීයකු වන කුමාරසාමි තංගරාජ් පවසයි.
වැද්දාගේ මුල් භාෂාව භාෂාමය වශයෙන් හුදකලා එකක් වන අතර දන්නා කිසිම භාෂාවකට සම්බන්ධ නැත.
එය ඉන්දීය උප මහද්වීපයේ එවැනි භාෂාමය වශයෙන් හුදකලා වූ මධ්‍යම ඉන්දියාවේ කතා කරන නිහාලි සහ නේපාලයේ කුසුන්දා සමඟ භාෂා තුනෙන් එකක් බව චෞබේ පැවසීය.
ඔවුන්ගේ අධ්‍යයනය සඳහා නිරෝගී, මාතෘ සම්බන්ධයක් නැති වැදි පුද්ගලයන් 37 දෙනෙකුගෙන් එකතු කරන ලද රුධිර සාම්පලවලින් ජානමය ද්‍රව්‍ය නිස්සාරණය කර ඔවුන්ගේ ප්‍රවේණික කොටස් අනෙකුත් ජනකොටස් සමග සසඳා තිබේ.
ඔවුන්ගේ මාතෘ පාරම්පරික විශ්ලේෂණයට අනුව වැද්දන් යනු වසර 55,000කට පමණ පෙර ඉන්දියානු උපමහාද්වීපයෙන් පැමිණි මිනිසුන්ගෙන් පැවත එන්නන් වන අතර ඔවුන් අප්‍රිකාවෙන් ඉන්දියාවට සහ ආසියාවට සංක්‍රමණය වූ නූතන මානවයන්ගේ කොටසක් විය හැකිය.
ඉන්දියාවේ මුල්ම ජනගහනය අතර සිටි ඉන්දියානු ගෝත්‍රික ජනකොටස් සමඟ වැද්දන්ගේ ජානමය සමීපත්වය ඔවුන්ගේ ගැඹුරු පොදු ජානමය මූලයන් පෙන්නුම් කරන බව චෞබේ පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක සහ අධ්‍යයනයේ පළමු කතුවරිය වන අංජනා වැලිකල පැවසුවේ මෙම අධ්‍යයනය වැද්දන්ගේ වෙනස් ජනවිකාස ඉතිහාසයක් ඉස්මතු කරන බවයි.
සිංහල හා දෙමළ ජනගහනය සමඟ භූගෝලීය සමීපත්වය තිබියදීත් වැද්දන් බොහෝ දුරට ජානමය වශයෙන් හුදකලා වූ බව සොයාගැනීම්වලින් පෙනී යන බව ද ඇය පවසයි.
අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ රුවන්දි රණසිංහ පැවසුවේ සීමිත ජාන ප්‍රවාහයක් වන වැද්දන් සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ ජනගහනයෙන් ඔවුන්ගේ සුවිශේෂී ජාන සැකැස්ම ආරක්ෂා කර ගෙන ඇති බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති බවයි.
සිංහලයන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ක්‍රි.පූ.800 සහ 600 අතර වන අතර දිවයිනේ දෙමළ ජනකොටස් ක්‍රි.පූ. 600 සහ 300 අතර කාලය තුළ තමිල්නාඩුවෙන් පැමිණි අයගෙන් පැවත එන්නන් ලෙස සැළකේ.
බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥයන් යුවළක් වන චාල්ස් සෙලිග්මන් සහ බ්‍රෙන්ඩා සෙලිග්මන් 1911 දී වැද්දන් පිළිබඳ නිබන්ධනයක යෝජනා කර තිබුණේ ඔවුන් දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ කැලෑ ගෝත්‍රිකයන්ට සම්බන්ධ නමුත් වඩාත් ප්‍රාථමික ලෙස සැළකිව යුතු බවටයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart