May 5, 2025

රෝයල් පාර්ක් ඝාතන නඩුවේ වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ අත්අඩංගුවට ගැනීමට දුන් නියෝගය වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අප්‍රසාදය පළකර තිබේ.

විත්තිකරුට එරෙහි නඩු විභාගයේ මුල් නඩු ගොනුව සොයාගැනීමට නොහැකි වීම නිසා ජයමහ අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වී ඇති බව රජයේ නීතිඥ සජිත් බණ්ඩාර පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

නඩුවේ මුලසුන දැරූ විනිසුරු එස්. තුරෙයිරාජා පැවසුවේ මෙය ඉතාමත් අසතුටුදායක බවයි.

ඉවෝන් ජොන්සන් ඝාතනය සම්බන්ධයෙන් ජයමහට මරණ දඬුවම නියම කර තිබුණද, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුට ජනාධිපති සමාව ලබාදෙන ලදී.

පසුගිය වසරේ ජයමහට ලබාදුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.

ඉදිරි දිනවලදී නීතිපති දෙපාර්තමේන්තුව ජයමහට එරෙහිව මහාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගැනීමට පියවර ගන්නා බව නීතිඥ සජිත්බ ණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රජය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් සිංගප්පූරු රජය ජයමහ ඔවුන්ගේ රටේ නොමැති බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව ද ඔහු පැවැසීය.

ඒ අනුව, ජයමහ පදිංචිව සිටින්නේ කුමන රටකද යන්න හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

ජයමහගේ සමාව අවලංගු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, ඔහු සැඟවී සිටින බවට සැකකරන රටවලට යවන බවත්, එවිට ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගතහැකි බවත් ඔහු සඳහන් කළේය.

ජයමහ රටින් පළාගිය දා සිට ඔහු සම්බන්ධ මූල්‍ය ගනුදෙනු සිදුවී ඇත්දැයි ශ්‍රී ලංකා මහබැංකුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ නියම කර ඇති පරිදි, ඉවෝන් ජොන්සන්ගේ පවුලට රුපියල් මිලියන 3 ක වන්දියක් ගෙවා ඇති බැවින්, හිටපු ජනාධිපති සිරිසේන නඩුවෙන් නිදහස් කරන ලෙස එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තවදුරටත් නියෝග කළේය.

ජූලි 28 වැනි දින විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නීතිපතිවරයාට තවදුරටත් නියෝග කළේය.