
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එක්දරු පියකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී ලේ වමනය දැමීමෙන් අනතුරුව මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරුට පොලිසිය අමානුෂික ලෙස පහරදී ඇතැයි මියගිය අයගේ බිරිය චෝදනා කරයි.
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි රෝෂිණී ලක්මාලී විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්එම්, සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මියගොස් ඇති තැනැත්තා ඊයේ රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔහු නිවෙසට ගොස් සිටියදී රාත්‍රි ලේ වමනය කිරීමෙන් පසු රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.
මියගොස් ඇති තැනැත්තාගේ නැන්දණිය වන සමන්මලී ෆොන්සේකා සඳහන් කළේ පොලිසිය අමානුෂික අන්දමින් පහරදී ඇති බවයි.
පහරදීම සම්බන්ධයෙන් මියගොස් ඇති තැනැත්තාගේ බිරිය වන රෝෂිණී ලක්මාලී මහත්මිය පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු ජනමාධ්‍යට අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.
“මගේ මහත්තයව රිය අනතුරක් සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකින් ගෙදර එව්වා. මහත්තයා කීවා මට පොලිසියෙන් පොලුවලින් හොඳටම ගැහුවා පපුව රිදෙනවා කියා. අපි එයාව රෝහලට ගෙන ගියා. පසුව අද මියගිහින් කීවා. මමයි මේ අහිංසක දරුවයි තනිවුණා. අපිට සාධාරණයක් කරල දෙන්න.”
මියගොස් ඇති තැනැත්තාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බවත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
වාද්දුව පොලිසිය සඳහන් කරන්නේ අපරාධ අංශ නිලධාරීන් ජංගම සංචාරයේ යෙදෙන අතරතුර යතුරුපැදියකින් දෙදෙනකු ගමන් කර ඇති බවත් ඔවුන්ගේ ශරීරයේ තුවාල සිදුව ඇති බැවින් කිසියම් අපරාධයක් සිදුකර පළායන බවට සැකපිට අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පවුලේ සාමාජිකයන්ට භාරදුන් බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart