September 17, 2026

කම්බි මන්දකට හසු වී සිටි කඳුකර කොටියකු බේරාගැනීමට උත්සාහ කළ වනජීවී පශු වෛද්‍යවරයකුට, එම කොටියා එල්ල කළ ප්‍රහාරයකින් තුවාල සිදුවී තිබේ.

රන්දෙනිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිනිදෙනිය, මන්ද ආසන්නයට ගොස් කොටියා නිර්වින්දනය කිරීමට උත්සාහ කිරිමේදී, කොටියා එකවරම මන්දෙන් මිදී වෛද්‍යවරයා දෙසට පැන පහරදී, පසුව කැළයට පැනගොස් ඇත.

මෙම ප්‍රහාරයෙන් පශු වෛද්‍යවරයා සුළු තුවාල ලබා තිබේ.

මෙම කොටියා හොඳින් වැඩුණු සතෙකු බවත්, මන්දට හසුවීමෙන් ඌට බරපතල තුවාල සිදුව නොතිබූ බවත් වෛද්‍යවරයා පවසා ඇත.

ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවූ මෙම කොටියාට මන්දෙන් මිදී පළායෑමට තරම් ශක්තියක් තිබූ බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.