May 20, 2026

කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය නොලැබෙන්නේ නම්, ඉරානය සමඟ පවතින යුද්ධය ඉදිරියට ගෙන යාම වළක්වාලමින් එය අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට බල කිරීම අරමුණු කරගත් යුධ බලතල යෝජනාවක් ඉදිරියට ගෙනයෑම සඳහා සෙනෙට් මණ්ඩලය ඊයේ ඡන්දය ප්‍රකාශ කළේය.

එම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 50 ක් සහ විපක්ෂව 47 ක් හිමිව ඇති අතර මෙම ඡන්ද ප්‍රතිඵලය, පෙබරවාරි මාසයේදී මෙම ගැටුම ආරම්භ වූ දා සිට සෙනෙට් මණ්ඩලය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරියට ගෙන ගිය පළමු අවස්ථාව මෙන්ම, ඒ සඳහා ගත් අටවන උත්සාහය ද සනිටුහන් කරයි.

මෙහිදී එක් මන්ත්‍රීවරයෙකු හැර රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද සෙනෙට් මණ්ඩලයේ අනෙකුත් සියලුම ඩිමොක්‍රටික් පාර්ශවයේ මන්ත්‍රීවරුන් සමඟ එක්ව මෙම පනත සම්මත කිරීමට ඡන්දය ප්‍රකාශ කළහ.

මෙවර, ලුසියානා ප්‍රාන්තයේ පැවැති ප්‍රාථමික මැතිවරණයෙන් පරාජයට පත්ව සිටි සෙනෙට් මන්ත්‍රී බිල් කැසිඩි ද මෙම පියවර ගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

එම මැතිවරණයේදී ට්‍රම්ප් විසින් සහයෝගය දක්වා තිබුණේ කැසිඩිගේ ප්‍රතිවාදියාටය.

“ලුසියානාහි වෙසෙන ජනතාවගෙන්, විශේෂයෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් පවා මෙම යුද්ධය පිළිබඳව පවතින කනස්සල්ල මට අසන්නට ලැබුණා. රජය මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන තෙක්, කොන්ග්‍රස් මණ්ඩලයේ කිසිදු අනුමැතියක් හෝ කාලය දීර්ඝ කිරීමක් සාධාරණීකරණය කළ නොහැකියි.” යනුවෙන් ඡන්ද විමසීමෙන් පසු කැසිඩි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේය.

අඟහරුවාදා දින පැවැති මෙම ඡන්ද විමසීම එම යෝජනාව සම්පූර්ණයෙන්ම සම්මත කරගැනීම සඳහා තැබූ පළමු පියවර පමණක් සනිටුහන් කරන අතර, මෙය සෙනෙට් මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වුවද ට්‍රම්ප් විසින් එය නිසැකවම සිය විධායක බලතල භාවිතා කර ප්‍රතික්ෂේප කරනු ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එසේ වුවද ඩිමොක්‍රටික් පාර්ශවය මෙම යෝජනාව ඉදිරියට ගෙනයෑම දෙස බලන්නේ ට්‍රම්ප්ගේ ජනප්‍රිය නොවන මෙම යුද්ධය සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ට බල කිරීමේ ක්‍රමයක් ලෙසය.