September 14, 2026

රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවන උගන්ඩා ජාතික ගොවියෙකි.

මොහු උගන්ඩාවේ එන්ටබේ නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිලදමා කටාර් රාජ්‍යයේ දෝහා නුවර හරහා ගමන් කර ඇති අතර අනතුරුව, කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් ඊයේ (13) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.

සැකකරු ඊයේ දහවල් තෙක් ගුවන් තොටුපොළේ පළමු මහලේ රැඳී සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ගුවන් තොටුපොළ තුළදීම අදාළ සැකකරු විසින් ගිලදමා තිබූ කොකේන් ගුලි 13ක් ස්වභාවිකව පිටතට දමා ඇත.

සැකකරු විසින් තවදුරටත් උදරයේ සඟවා ගිලදමා ඇති ඉතිරි කොකේන් ගුලි තොගය සම්පූර්ණයෙන් ශරීරයෙන් බැහැර කර ගැනීම සඳහා ඔහුව මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇත.