October 22, 2026

පෙරපාසල් දරුවන් සඳහා උපකාරක පන්ති (ටියුෂන්) පැවැත්වීම නීතිවිරෝධී බව මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ එච්.එම්. වසන්ත හේරත් අවධාරණය කරයි.

ඊයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මොනරාගල දිස්ත්‍රික් කාන්තා හා ළමා සංවර්ධන කමිටු රැස්වීමක් අමතමින් ඔහු පෙන්වාදුන්නේ පෙරපාසල් වයසේ පසුවන දරුවන්ට විෂයානුබද්ධව උපකාරක පන්ති හරහා බරක් නොතැබිය යුතු බවයි.

අලුතින් පෙරපාසල් ආරම්භ කිරීමට ඉඩ නොදෙන බවත් සෙවනගල පිහිටි පෙරපාසල වසාදැමූ බවත් ඔහු පැවසීය.

“දින පහක ගුරු වැඩමුළුවකදී පෙරපාසල් ගුරුවරුන් සඳහා විෂය නිර්දේශයක් හඳුන්වා දී තිබෙනවා. ඊට එළිමහන් ක්‍රියාකාරකම් ද ඇතුළත්. හේන් ගොවිතැන් කරන කාලයට නිවෙස්වල තනිව සිටින දරුවන් අවදානමකට ලක්වෙනවා. කාන්තා හා ළමා සංවර්ධන කමිටු මගින් දෙමාපියන් දැනුවත් කළ යුතුයි. විදේශයන්හි රැකියාවල නිරත දෙමාපියන්ගේ දරුවන් සඳහා වන සංවර්ධන සැලසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙනවා” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.