July 5, 2025

අමෙරිකානු නිදහසේ 250 වැනි වසර සැමරීම සඳහා ධවල මන්දිර පිටියේ නරඹන්නන් 20,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අල්ටිමේට් ෆයිටින් තරඟයක් (UFC) පැවැත්වීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

“අපට එහි විශාල ඉඩමක් තිබෙනවා,” යැයි මෑත මාසවලදී එහි මිශ්‍ර සටන් කලා තරඟ කිහිපයකට සහභාගී වූ සහ UFC ලීගයේ සභාපති වන ඩැනා වයිට් සමඟ සමීප මිතුරකු වන ට්‍රම්ප් පැවසීය.

2026 ජූලි 4 වැනි දින අමෙරිකාවේ 250 වැනි නිදහස සැමරීම සඳහා වන වසරක උත්සව මාලාවේ සැලැස්ම ට්‍රම්ප් අයෝවා හි දී නිවේදනය කළේය.

ජනාධිපතිවරයා වොෂින්ටනයේ ජාතික වෙළඳ සංකීර්ණයේ කූටප්‍රාප්තික උත්සවය සහ රට පුරා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන වෙනම මලල ක්‍රීඩා තරඟයක් ද නිවේදනය කළේය.

“එබැවින් අපගේ සෑම ජාතික උද්‍යානයක්ම, යුධ පිටියක් සහ ඓතිහාසික ස්ථානයක්ම 250 වැනි නිදහසට ගෞරවයක් වශයෙන් විශේෂ සිදුවීම් පවත්වන්න නියමිතයි. ඒ වගේම මම හිතන්නේ අපි UFC සටනකුත් පවත්වන්න ඉන්නේ,” ට්‍රම්ප් පැවසීය.

“ධවල මන්දිර පිටිය ගැන සිතන්න. අපට එහි විශාල ඉඩමක් තිබෙනවා,” ඔහු පැවසුවේය.

20,000 සිට 25,000 දක්වා පිරිසකට එය නැරඹීමට හැකිවනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

ජනාධිපතිවරයාගේ නිවේදනයෙන් ඔබ්බට ඔවුන්ට සඳහන් කිරීමට කිසිදු තොරතුරක් නොමැති බව ධවල මන්දිර ප්‍රකාශකයකු පවසා තිබේ.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පසුව පැවසුවේ ට්‍රම්ප් එම සැලසුම් පිළිබඳ අතිශයින්ම බැරෑරුම් ලෙස සිතන බවයි.

ට්‍රම්ප් පසුගිය මාසයේ ශූරතා තරඟ දෙකක් සඳහා වයිට් සමඟ පෙනී සිටීම ඇතුළුව UFC සටන් කිහිපයක් නැරඹීමට පැමිණ තිබිණි.