August 2, 2025

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ යුද්ධයක අවදානම පිළිබඳ හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල ස්ථානගත කිරීමට නියෝග කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ ට්‍රම්ප්ගේ මෙම පියවර රුසියාවට දුන් වාචාල ප්‍රතිචාරයක් මිස අනිවාර්යයෙන්ම මිලිටරි එකක් නොවන බවයි.

එක්සත් ජනපදය සතු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන දැනටමත් රුසියාවට පහර දීමට හැකියාව ඇති ස්ථානවල ස්ථානගත කර ඇති බව ඔවුන්ගේ අදහසයි.

ට්‍රම්ප් මෙඩ්විඩෙව්ට “වචන ගැන පරිස්සම් වෙන්න” යැයි මීට පෙර පවසා තිබිණි.

ඊට ප්‍රතිචාර වශයෙන්, මොස්කව්හි අවසාන විසඳුම ලෙස සෝවියට් යුගයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් ඇති බව ට්‍රම්ප් මතක තබා ගත යුතු බව මෙඩ්විඩෙව් බ්‍රහස්පතින්දා පැවසීය.

“රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව්ගේ ඉතා ප්‍රකෝපකාරී ප්‍රකාශ මත පදනම්ව …, න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් සුදුසු කලාපවල ස්ථානගත කිරීමට මම නියෝග කර තිබෙනවා,” යනුවෙන් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක ඊයේ සඳහන් කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ “වචන ඉතා වැදගත්, බොහෝ විට අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකියි, මෙය එවැනි අවස්ථාවලින් එකක් නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

සබ්මැරීන් ස්ථානගත කිරීමට නියෝග කළේ මන්දැයි පසුව වාර්තාකරුවන් විමසූ විට ට්‍රම්ප් පැවසුවේ “රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු විසින් තර්ජනයක් කර තිබෙනවා, අපි අපගේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කළා” යනුවෙනි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශ ගැන හෝ සබ්මැරීන ගෙන ගොස් තිබේද යන්න පිළිබඳ අදහස් දැක්වීම එක්සත් ජනපද නාවික හමුදාව සහ පෙන්ටගනය ප්‍රතික්ෂේප කර තිබේ.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය පැමිණියේ වොෂින්ටනය සහ මොස්කව් අතර ආතතිය වැඩිවන අවස්ථාවකය.

වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරෙන යුක්රේනය ආක්‍රමණය කිරීම අවසන් කිරීම සඳහා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සාකච්ඡා කිරීමට අපොහොසත් වීම ට්‍රම්ප් කලකිරීමට පත්ව සිටී.

‘න්‍යෂ්ටික සබ්මැරීන’ යන්නෙන් අදහස් කළේ කුමක්දැයි ඔහු නිශ්චිතව සඳහන් කර නැත.

එක්සත් ජනපද හමුදා සබ්මැරීන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන අතර න්‍යෂ්ටික තුඩ සහිත මිසයිලවලින් සන්නද්ධ විය හැකි නමුත් සියල්ලම එසේ නොවේ.

න්‍යෂ්ටික මිලිටරි හැකියාවන් පිළිබඳ එක්සත් ජනපද ජනාධිපතිවරයකු කරන ඕනෑම කතාවක් අවධානයට ගත යුතු බව ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දී තිබේ.

“මෙය වගකීම් විරහිතයි සහ නුසුදුසුයි, කිසිදු නායකයකු හෝ නියෝජ්‍ය නායකයකු සමාජ මාධ්‍යවල බාලවයස්කාර ආකාරයකින් න්‍යෂ්ටික යුද්ධයට තර්ජනය නොකළ යුතුයි, ” යනුවෙන් අවි පාලන සංගමයේ උපදේශක කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ ඩැරල් කිම්බල් පැවසීය.

ඇමරිකානු විද්‍යාඥයන්ගේ සම්මේලනයේ හාන්ස් ක්‍රිස්ටෙන්සන් සඳහන් කළේ එක්සත් ජනපද න්‍යෂ්ටික සබ්මැරීන සෑම විටම රුසියාවේ ඉලක්ක වෙත න්‍යෂ්ටික සන්නද්ධ මිසයිල දියත් කිරීමට ස්ථානගත කර ඇති බවයි.

“සබ්මැරීන සෑම විටම එම ස්ථානවල තිබෙනවා. ස්ථානගත කිරීමට අවශ්‍ය නැහැ,” ඔහු පැවසීය.

එක්සත් ජනපදය සතුව ඔහියෝ පන්තියේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන 14ක් ඇත.

ඒ සෑම එකක්ම ට්‍රයිඩන්ට් II D5 බැලස්ටික් මිසයිල 24ක් දක්වා රැගෙන යා හැකි අතර එමඟින් සැතපුම් 4,600ක් දක්වා බහු තාප න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකිය.