June 24, 2024

ඉන්දීය රජය සමඟ සහයෝගීතාවයෙන් යුතුව ත්‍රිකුණාමලය ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මඩකලපු දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කර තිබේ.

මඩකලපු දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව සමග පසුගිය සෙනසුරාදා පැවති හමුවේදී සංචාරක ක්ෂේත්‍රය, කර්මාන්ත අංශය සහ කෘෂිකර්මාන්තය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින් නැගෙනහිර පළාත සඳහා වන රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳ ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

නැඟෙනහිර පළාතේ උපායමාර්ගික වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

අපනයනය මත පදනම් වූ ආර්ථිකයකට රට පරිවර්තනය කිරීමේදී නැඟෙනහිර පළාත සතු කාර්යභාරය ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ නැගෙනහිර පළාතේ ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සංවර්ධන සැලසුම් සඳහා සක්‍රීයව සම්බන්ධ වී සහයෝගය ලබා දෙන ලෙසයි.

රටේ සංවර්ධනය පිළිබඳ නවතම තොරතුරු ගෙනහැර දක්වමින් නැඟෙනහිර පළාතේ වර්ධනය සඳහා පවතින ඉඩකඩ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

ත්‍රිකුණාමල වරාය වැඩිදියුණු කිරීමටත් ඉන්දියාව සහ අනෙකුත් විදේශ රටවල් සමඟ නව ආයෝජන කලාප ඇති කිරීමටත් ගෙනයන වැඩපිළිවෙළ ද මෙම හමුවේ දී ජනාධිපතිවරයා ඉස්මතු කර ඇත.

ඊට අමතරව, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අදහස් කරමින් නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඇති සැලසුම් ද ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ඔහු පවසා ඇත්තේ සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

පළාතේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මහවැලි බී කලාපය සංවර්ධනය කිරීමට වැඩසටහන් සකස් කරමින් පවතින බවත් ඊට සමගාමීව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා නව ව්‍යාපාර අවස්ථා සලසා දීමට සැලසුම් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.