March 31, 2025

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

ඒ, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගෙන් පැය 5 ½ කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවය.

2023 වසරේ වැලිගම ප්‍රකට හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ, වැලිගම පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සම්බන්ධ වූ වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියකු මියගොස් තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්
දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබේ.

එහිදී සති ගණනක් පොලිසිය මගහැර සැඟව සිටි ඔහු අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.