August 31, 2023

ශ්‍රී ලාංකික පරිශීලකයන්ට ඔවුන්ගේ වීඩියෝවලින් මුදල් ඉපැයීමට ඉඩදිය හැකි බව සමාජ මාධ්‍ය සමාගමක් වන ටික්ටොක්(TikTok) ප්‍රකාශ කරයි.

TikTok සමාගමේ දකුණු ආසියාවේ ආරක්ෂාව සහ අඛණ්ඩතාව පිළිබඳ කලාපීය ප්‍රධානී අස්මා අන්ජුම් පවසන්නේ, ශ්‍රී ලංකාවේ පරිශීලකයන්ගේ වීඩියෝ ඔස්සේ මුදල් ඉපැයීමට අවස්ථාව ලබාදීම පිළිබඳව සමාගම සළකා බලමින් සිටින බවයි.

කෙසේවෙතත් එම තීරණය ක්‍රියාත්මක කරන දිනයක් පිළිබඳව TikTok සමාගම ප්‍රකාශ කර නැත.

TikTok වෙතින් මුදල් ඉපැයීම සඳහා, පරිශීලකයින්ට අවම වශයෙන් අනුගාමිකයින්(Followers) 10,000ක් සිටිය යුතු අතර, වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි විය යුතුය. එසේම පසුගිය දින 30 තුළ අවම වශයෙන් වීඩියෝ නැරඹීම්(Views) 100,000ක් තිබිය යුතුය.

එසේම ගිණුම් හිමියා TikTok හි ප්‍රජා මාර්ගෝපදේශ සහ සේවා කොන්දේසි ද අනුගමනය කළ යුතුය.

2023 අගෝස්තු වන විට ශ්‍රී ලංකාව තුළ TikTok භාවිත කරන්නන් මිලියන 1.5 ක් සිටින බවට ගණන් බලා ඇත. මෙය රටේ ජනගහණයෙන් 07% ක් පමණ නියෝජනය කරයි.

TikTok යනු ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වේදිකාව වන අතර, එහි ජනප්‍රියත්වය ඉදිරි වසරවලදී අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.