July 17, 2023

තැපැල් සේවයේ නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ, දීර්ඝ කාලයක සිට ක්‍ෂේත්‍රයේ භාවිත වූ සාම්ප්‍රදායික පාපැදි වෙනුවට ත්‍රිරෝද රථ 1000ක් රටපුරා යොදවන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පවසයි.

රට තුළ ශක්තිමත් තැපැල් සේවයක් බිහිකිරීමේ අරමුණ ඇතිව තැපැල්කරුවන්ට නිල ඇඳුමක් ද ලබාදෙන බවද ඔහු සඳහන් කරයි.

රුපියල් බිලියන 10 ක වියදමින් තැපැල් සේවාව නවීකරණය කිරීම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති බවත්, තැපැල් දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයකින් පෞද්ගලිකකරණය නොකරන බවත් රාජ්‍ය ඇමතිවරයා පවසයි.

ඩිජිටල්කරණය කිරීම හරහා ඉදිරි වසර දෙක තුළ තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වාදෙයි.

2023 වසර අවසන් වන විට තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව රුපියල් මිලියන 4000කින් අඩු කරන බවද රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පවසයි.

ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළකළේය.