November 6, 2025

මෙරටට පරිත්‍යාග කරන ලද අලි දෙදෙනා ආපසු ලබාගැනීමේ සැලැසුමක් පවතින බවට වාර්තා පළවුව ද ඒ සම්බන්ධයෙන් තායිලන්ත රජයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, එවැනි පියවරක් පිළිබඳව අමාත්‍යාංශයට කිසිදු විධිමත් ඉල්ලීමක් ලැබී නොමැති බවයි.

“තායි රජයෙන් අපගේ අමාත්‍යාංශයට නිල දැනුම්දීමක් සිදු කරලා නැහැ. වෙනත් අමාත්‍යාංශයකට එවැනි දැනුම්දීමක් ලැබී තිබෙනවා ද යන්න පිළිබඳව ද මම සොයාබැලුවා, නමුත් එවැනි දෙයක් මෙතෙක් ලැබී නැහැ,” ඔහු පවසයි.

අලි දෙදෙනා නැවත තායිලන්තයට ගෙනයෑමට නියමිත බවට ජානමාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව, ඔවුන්ගේ පෝෂණය හෝ සෞඛ්‍යය සම්බන්ධ ගැටළු තිබේදැයි පරීක්ෂා කිරීමට අමාත්‍යාංශය තීරණය කළ බව ද නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි වැඩිදුරටත් පවසා ඇත.

“අපි පශු වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළා. ඔවුන් අපට වාර්තාවක් ලබාදෙයි. අපි මුලින් ඔවුන්ගෙන් විමසූ විට, ඔවුන් පැවසුවේ කිසිදු ගැටළුවක් නැති බවයි, නමුත් අපි කමිටුවක් පත්කළා. ඔවුන් අපට ලබා දෙන වාර්තාව මත පදනම්ව අපි පියවර ගන්නවා.” ඔහු සඳහන් කරයි.

2001 දී ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද අලි ඇතුන්ගේ සුභසාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තායි නියෝජ්‍ය අගමැති සහ ස්වභාවික සම්පත් අමාත්‍ය සුචර්ට් චොම්ක්ලින් කොළඹට පැමිණීමට නියමිත බවට වාර්තා පළවෙමින් තිබියදී මෙම ප්‍රකාශය නිකුත් විය.

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් දෙදෙනා අධික ලෙස වැඩ සඳහා යොදවා ඇති බවත්, දම්වැල්වල බැඳදමා ඇති බවත්, ප්‍රමාණවත් සැලකිල්ලක් නොලැබෙන බවත් පවසමින්, තායිලන්තය කනස්සල්ල පළකරන ලද බව වාර්තා විය.

මේ හා සමාන සුභසාධනය සම්බන්ධ ගැටළු මතු කිරීමෙන් පසු, තායිලන්තය මීට පෙර 2023 දී ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද තවත් ඇතෙකු යළි රැගෙන ගියේය.