September 14, 2025

ඓතිහාසික වටිනාකමක් ඇති කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ දේපළ අතරට අයත් දැනට හිස් වී තිබෙන අමාත්‍ය සහ ජනාධිපති බංගලා බදු දීමට රජය සළකා බලමින් සිටිය ද තවමත් එය අවිනිශ්චිතව තිබේ.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ට අනුව, තානාපති කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන හෝ අන්තර්ජාතික සංවිධාන සඳහා මෙම ප්‍රභූ නිවාස ලබාදීම පිළිබඳ සාකච්ඡා තිබියදීත්, තවමත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැත.

ඔහු පවසා ඇත්තේ, රජය දැනට හිස් වී ඇති අමාත්‍ය සහ ජනාධිපති බංගලා බදු දීමට සළකා බලමින් සිටියද, මේ කාරණය සම්බන්ධයෙන් තවමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැති බවයි.

“අපි මෙම බංගලා ඒවායේ භාවිතය අනුව සැලසුම් කර තිබෙනවා, නමුත් ඒවා නිවැරදි පාර්ශවයන්ට ලබා දෙන බව සහතික කිරීමට අපට අවශ්‍යයි.මෙම දේපළ නිෂ්ක්‍රීයව තබා ගැනීමෙන් පලක් නැහැ, මොකද මේවා හොඳ දේපළ. ඒවා භාවිතයට නොගෙන තැබීමෙන් පරිහානියට යනවා,” නියෝජ්‍ය අමාත්‍ය සරත් පැවසීය.

මේ අතරතුර රජය නිවාස නඩත්තු කරමින් සිටි නමුත් ඒවා බදු දීම සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බව ඔහු පැවසීය.

“මීට පෙර අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වෙන් කරන ලද එවැනි බංගලා 50ක් හෝ 51ක් තිබෙනවා. අපි බලයට පත් වූ දා සිට, මේවා නිසි ලෙස භාවිතයට ගෙන නැහැ. ඒවා දැනට නඩත්තු කරනු ලැබුවත් එය තිරසාර විසඳුමක් නෙවෙයි. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නම්, පළමුව ඉහළ පෙළේ පාර්ශවයන්ගෙන් විශ්වාසදායක උනන්දුවක් තිබිය යුතුයි. එය සිදු වූ පසු, අපට ඉදිරියට යා හැකියි.” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“මෙම දේපළ බදු දීම මගින් ප්‍රයෝජන ගැනීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබෙනවා. කෙසේවෙතත්, මේ දක්වා කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නැහැ” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා ද පැවසීය.

“නිවැරදි ආකාරයේ උනන්දුවක් දක්වන ඉල්ලීම් සළකා බලනවා, දේපළ සුදුසු පාර්ශවයන්ට භාර දෙන්න සැලසුම් කරන්නේ. සැබෑ අවශ්‍යතාවක් තිබේ නම්, රාජ්‍ය අංශයටත් ඒවා භාවිතාකිරීමේ හැකියාව තිබෙනවා, නමුත් එවැනි ඉල්ලීමක් මෙතෙක් කර නැහැ,” යැයි ඔහු තවදුරටත් පැවසීය.

ප්‍රශ්නගත බංගලා කොළඹ 7, කොළඹ 5 සහ කැප්පෙටිපොළ මාවත වැනි ප්‍රදේශවල පිහිටා ඇත.

ඒවා වරෙක කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපතිවරුන් විසින් පවා අත්පත් කරගෙන තිබිණි.

යටත් විජිත යුගයේ ආණ්ඩුකාරවරුන් සහ ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් භාවිත කර ඇති සමහර දේපළ ඓතිහාසික වටිනාකමක් දරයි.

“ඇමති බංගලා 51ක් පමණ තිබෙනවා. ඒවායින් බොහොමයක් ඓතිහාසික වැදගත්කමක් ඇති යටත් විජිත දේපළ ලෙස හඳුනාගෙන ඇති නිසා කඩා ඉවත් කළ නොහැකියි. මේවායින් සමහරක් එක්සත් ජාතීන්ගේ සංකීර්ණය අසල සහ රුසියාව, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය ඇතුළු තානාපති කාර්යාල කිහිපයකට ආසන්නව පිහිටා තිබෙන්නේ. ඒවායේ ස්ථාන අතිශයින් වටිනවා, නමුත් ඒ සමඟම, පැරණි පයිප්ප සහ දැවමය බිම් වැනි ගැටළු සමඟ ඒවායේ පැරණි බව නිසා ඉහළ නඩත්තුවක් අවශ්‍යයි,” නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන පැවසීය.

පිරිවැය සහ ඌන උපයෝගීතාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා, නාගරික සංවර්ධන අධිකාරිය විසින් බංගලා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, අන්තර්ජාතික සංවිධාන හෝ රාජ්‍ය නොවන ආයතනවලට බදු දීමට නිර්දේශ කර ඇත.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයට අමතර ඉඩක් අවශ්‍ය නම්, මෙම දේපළ භාවිත කිරීම සළකා බැලිය හැකි බව අපි යෝජනා කළා. විකල්පයක් ලෙස, අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන හෝ තානාපති කාර්යාලවලට ද ඒවා සුදුසු බව පේනවා. තානාපති කාර්යාලවලටම සෘජුවම කැමැත්ත ප්‍රකාශ කළ හැකියි. එවැනි අවස්ථාවලදී ජනාධිපතිවරයා මැදිහත් වීමට අවශ්‍ය නැහැ,” යැයි විතාන පැවසීය.

හිටපු ජනාධිපතිවරයකුගේ දේපළක් වරක් මසකට රුපියල් මිලියන 5කට ආසන්න අගයකට තක්සේරු කර ඇති බවත්, එය උනන්දුව අධෛර්යමත් කළ බවත් විතාන සිහිපත් කළේය.

“එය ඉතා ඉහළයි. කිසිදු කුලී නිවැසියකු එවැනි අගයකට එකඟ වෙන්නේ නැහැ. සාධාරණ කුලී නියම කළ හැකි වන පරිදි නිසි තක්සේරු කිරීම් සිදු කිරීමට අපි නිර්දේශ කළා. කුලිය මසකට රු. 500,000ක් පමණ නම්, එය හැකියාව ඇති කුලී නිවැසියන්ට වඩාත් යථාර්ථවාදී සහ ආකර්ෂණීය වෙයි” යනුවෙන් ද ඔහු පැවසීය.

ප්‍රධාන කල්බදු ක්‍රම දෙකක් දැනට සළකා බලමින් පවතී.

එකක් නම්, උනන්දුවක් දක්වන තානාපති කාර්යාල හෝ සංවිධාන වෙත දේපළ සෘජුවම වෙන් කිරීම වන අතර, අනෙක පොදු ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහාය.

මහජන ටෙන්ඩරය විනිවිදභාවය සහතික කරන අතර, යෝජනා සහ ඇගයීම් කැඳවීම අවශ්‍ය වන බැවින් එය දිගු ක්‍රියාපටිපාටියක් බව විතාන පිළිගත්තේය.