December 18, 2025

ඉකුත් දෙසැම්බර් 7 දා සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටි ලංකාව සතු එකම කහ ඇනකොන්ඩා පැටවා පෙරේදා (16 දා) උරග උයනේ යකඩ පෙට්ටියක සිටියදී හමුවූ බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ පවසයි.

මේ පිළිබඳව උරගයින් භාරව සිටි සත්ව භාරකරු අතපසුවීමකින් කහ ඇනකොන්ඩා පැටවා රඳවා සිටි පෙට්ටියේ දොර වසා නොතිබීම නිසා පැටවා එළියට ගොස් ඇති බව පැවසේ.

පසුගිය දින කිහිපය පුරාම සේවකයන් යොදවා කහ ඇනකොන්ඩා පැටවා සොයාබැලුව ද සොයාගැනීමට නොහැකි විය.

මේ අතරතුර කහ ඇනකොන්ඩා පැටවා අතුරුදන්වීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර එහි වාර්තාව ප්‍රමාද කර දින 9 කට පසුව අදාළ ඉහළ නිලධාරිනිය විසින් ඉකුත් 16 දා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාර දී තිබිණි.

එම වාර්තාවට අනුව උරග උයනේ කහ ඇනකොන්ඩා පැටවා භාරව සිටි සත්ව භාරකරුගේ වැඩ තහනම් කෙරිණි.

මෙලෙස වැඩ තහනමට ලක්කර පැය 24 ක් ගතවීමට මත්තෙන් උරග උයනේ යකඩ පෙට්ටියක් තුළ සිටි කහ ඇනකොන්ඩා පැටවා සත්වෝද්‍යානයේ වෙනත් අංශයක සේවකයකු විසින් සොයාගත් බව සත්වෝද්‍යාන බලධාරීහු ප්‍රකාශ කරති.

කාන්තාවක විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා (Yellow Anaconda) ඇතුළු සර්ප විශේෂ හතරකට අයත් සර්පයින් 6 දෙනකු කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රැකබලා ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 15 වැනිදා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාරදීමෙන් අනතුරුව උරග උයන තුළ නිරෝධායනයට යොමුකර තිබිණි.

එසේ සිටියදී අවුරුද්දක් වයසැති අඩි 1 1/2 – 2 දිග සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩා පැටවා නැති වූ බවට දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

කෙසේවුවද දෙහිවල සත්වෝද්‍යානය තුළ 2015 වර්ෂයේ දී ‘සුදු නයා’ සොරකම ප්‍රසිද්ධ රහසක් විය.

ඒ ආකාරයටම 2025 වර්ෂයේ ‘කහ ඇනකොන්ඩා’ සොරකම සමාන බවත් මේ ආකාරයට සතුන් අතුරුදන් වීමේ සිද්ධිවල පරීක්ෂණ සිදුවෙද්දී සොරකම් කළ සතුන් යළි හමුවීම පිටුපස අභ්‍යන්තර සේවකයන්ගේ සම්බන්ධතාවක් ඇති ද යන්න සැක සහිත බව ද සත්වෝද්‍යාන සේවකයෝ පවසති.