September 14, 2026

අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ World Athletics Ultimate Championship තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක දැවැන්ත දුරක් වාර්තා කරමින් ලෝක ශූරතාව දිනාගැනීමට 23 හැවිරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩක රුමේෂ් පතිරගේ සමත්ව ඇත.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔහුට ඇමරිකානු ඩොලර් 150,000ක එනම් රුපියල් කෝටි 4.5කට අධික දැවැන්ත ත්‍යාග මුදලක් හිමිවූ අතර, එය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ලැබුණු විශාලම මුදල් ත්‍යාගය වේ.

තරගයට යද්දී මුදල් ත්‍යාගය ගැන සිතුවේවත් නැති බවත්, තමන්ට වඩාත්ම වටින්නේ රට වෙනුවෙන් ලෝක කුසලානය එසවීම බවත් රුමේෂ් පැවසීය.

2017දී හෙල්ල විසි කිරීමට යොමුවීමට පෙර රුමේෂ් දක්ෂ වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

පන්දුව විසි කිරීමේදී ඇති වේගය සහ චලනයන් හෙල්ල විසි කිරීමට ද යම් තාක් දුරට උපකාරී වූ බව ඔහු කියයි.

ශ්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ මෙතෙක් දිනා ඇත්තේ රිදී පදක්කම් 2ක් පමණි.

ශ්‍රී ලංකාවේ පළමු ඔලිම්පික් රන් පදක්කම 2028 ඇමෙරිකානු ඔලිම්පික් උළෙලේදී දිනාගැනීම තමාගේ ප්‍රධානතම ඉලක්කය බව රුමේෂ් කියයි.

ඊට අමතරව 1996දී ජැන් සෙලෙස්නි තැබූ මීටර් 98.48ක ලෝක වාර්තාවට අභියෝග කිරීම තමාගේ ක්‍රීඩා දිවියේ අවසාන ලොකුම සිහිනය බව ඔහු සඳහන් කරයි.

ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමෙන් පසුව, ඇතැම් විට 2028දී නැවතත් ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රිකට් ක්‍රීඩාව දෙසට හැරීමේ හැකියාවක් ඇති බව ද ඔහු පැවසීය.