December 8, 2025

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබානොදෙන බවත්, ඒවාට අදාළ නීති ශක්තිමත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

එසේ නොකළහොත් රට මීටත් වඩා විශාල ව්‍යසනයකට මුහුණදෙන බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

නීති ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ළඟදීම පිහිටුවීමට නියමිත ප්‍රතිසංස්කරණ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවත්, එමඟින් මෙම ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළකළේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානියට පත් සියලුම මාර්ග සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට පත්කර ඉදිරි සති දෙක තුළ මහජන භාවිතය සඳහා නැවත විවෘත කරන ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ සඳහා දැනටමත් වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිතා කළ යුතු බවත්, දෙසැම්බර් 31 වන දිනට පෙර නිම කළ නොහැකි මාර්ග, අවශ්‍ය ප්‍රතිපාදන සමඟ වාර්තා කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය. 2026 අයවැයෙන් මේ සඳහා අවශ්‍ය අරමුදල් වෙන්කරනු ලැබේ.

ආපදාව හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‘ඒ’ සහ ‘බී’ ශ්‍රේණියේ මාර්ග 1,181 කට හානි සිදුවී ඇති අතර, පාලම් 35 ක්, බෝක්කු 162 ක් විනාශ වී හෝ හානි සිදුව තිබේ. ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්විණි.

ආපදාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ බාධා ඇති වූ විදුලිය, ජල සැපයුම සහ සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර ජනාධිපතිවරයා වෙන වෙනම සමාලෝචනය කළේය.

අවසාන පුද්ගලයා දක්වා සේවා සැපයීම සේවා සපයන ආයතනවල වගකීම බව අවධාරණය කළ ජනාධිපතිවරයා බාධක ජය ගැනීම සඳහා මෙම ආයතන අතර ශක්තිමත් සම්බන්ධීකරණයක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 12,729 ක් සම්පූර්ණයෙන්ම හානි වී ඇති බවත්, ඉන් හෙක්ටයාර 7,215 ක් වගා කළ හැකි බවත්, හෙක්ටයාර 5,514 ක් වගා කළ නොහැකි බවත් නිලධාරීහු එහිදී ජනාධිපතිවරයා දැනුවත් කළහ.

වාරි ජලය නොමැතිකම හේතුවෙන් වගාවට බාධා ඇති ස්ථානවලට තාවකාලික ජලය සැපයීමට ජනාධිපතිවරයා ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් දුන් අතර, අස්වැන්න නෙළීම සහතික කිරීම සඳහා වගා කළ නොහැකි ඉඩම් ප්‍රමාණය හැකිතාක් අවම කරන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය. ගොවීන්ට වී බීජ සහ පොහොර සැපයීමේ වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී සොයා බැලීය.

නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනාගැනීම සහ හානියට පත් නිවාසවල හිමිකරුවන් සඳහා වන්දි ලබා දීම පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණි.

වන්දි ගෙවීම් සහ නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් පූර්ණ කාර්යභාරයක් ඉටුකළ යුතු බවට ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.

මේ අතර, මද්දෙකැටිය, ගොකරැල්ල සංගමු රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අලුත්ගම මංගල හිමියන් විසින් පීඩාවට පත්පවුල් නැවත පදිංචි කිරීම සඳහා විහාරස්ථානයේ ඉඩම් අක්කර 20 ක් වෙන්කර ඇත.

අදාළ ලියකියවිලි එහිදී උන්වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.

වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධීකරණය කරන ලද වයඹ පළාත් සමුපකාර සමිති, සංගම් සහ සාමාජිකයින්ගෙන් රුපියල් මිලියන 10 ක මූල්‍ය පරිත්‍යාගයක් සහ ගොකරැල්ල සහල් මෝල හිමිකරු එස්.එම්. වසන්ත සමරකෝන්ගේ පරිත්‍යාගයක් ද ජනාධිපතිවරයා වෙත භාරදෙන ලදී.