September 17, 2026

මහාපරිමාණ කංසා ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘බතල හීන් මහත්තයා’ ලෙස හඳුන්වන ජයසිංහ ආරච්චිගේ හේමන්ත නමැත්තා විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 180ක් (කෝටි 18ක්) වටිනා දේපොළ දින 14ක කාලයක් සඳහා තහනම් කිරීමට පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත.

සැකකරු විසින් නීති විරෝධී ලෙස වත්කම් රැස්කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ නමින් තම්බුත්තේගම, කිරවල්වත්ත සහ මිදෙනිය යන ප්‍රදේශවල මිලදී ගෙන ඇති ඉඩම්, ගොඩනැගිලි, කඩකාමර සහ නිවාස ඇතුළු දේපොළ අටක් මෙසේ සති දෙකක කාලයකට තහනම් කිරීමට නියෝග කර ඇත.

මීට අමතරව සැකකරුගේ දෙවැනි පුතුගේ නමින් රුපියල් මිලියන 35ක් (ලක්ෂ 350ක්) වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ද මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරුගේ පුතුට එරෙහිව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දැනටමත් නඩු පවරා ඇති අතර, මෙම ජීප් රථය ද නීතිවිරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ඒ අනුව, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අද සිට ක්‍රියාත්මක වන පරිදි එම ජීප් රථය ද දින 14ක කාලයකට තහනම් කිරීමට නියෝග කර තිබේ.