September 18, 2026

පසුගිය සෙනසුරාදා අනුරාධපුරයේදී විශාල ප්‍රචාරණයක් සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මහජන රැලිය, රට පුරා තමන්ට පක්ෂපාතී දේශපාලන රැල්ලක් නිර්මාණය කිරීම වෙනුවට, එම පක්ෂයටම මහා දේශපාලන ව්‍යසනයක් බවට පත්වූ ආකාරය දැකගත හැකිවිය.

මිතුරා කවුද, සතුරා කවුද යන්න පිළිබඳ නිසි අවබෝධයකින් තොරව පවත්වන ලද මෙම රැස්වීම, දේශපාලන ප්‍රතිවිරෝධතාවල අවුල් සහගත සංකලනයක් ලෙස දිස් විය. එසේම මෙම රැලිය විනය විරෝධී හා ප්‍රතිවිරෝධතාවලින් පිරි විකට රූපී විගඩමක් බවට පත් විය.

රැස්වීමට පෙර, දැඩි ලෙස මත්පැන් පානය කර සිටි සිය ගණනක් සහභාගිවන්නන් හැසිරුණු පිළිකුල් සහගත ආකාරය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ වීඩියෝවල පැහැදිලිව දක්නට ලැබිණි. එම පුද්ගලයන් සිදුකළ ප්‍රකාශවලදී, පක්ෂයට නායකත්වය දීමට සූදානම් කර සිටින පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ “හොරා” ලෙස හැඳින්වීමට තරම් ඔවුහු ඉදිරියට ගියහ. සමාජ මාධ්‍ය දර්ශනවලට අනුව, අනුරාධපුර රැලියට පැමිණියද ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන බව ඇතැම් පිරිස් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. නාමල් මහජන දේපළ කොල්ලකා ඇත්නම් ඔහුට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

රැලියට පෙර, එනම් සැප්තැම්බර් 4 වන දින, ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනු වංචාව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම අත්අඩංගුවට ගැනීම මහජන අනුකම්පාව ලබා ගැනීමට දේශපාලන අවියක් ලෙස අවභාවිත කිරීමට උත්සාහ කළේය. අනුරාධපුර රැලිය අඩපණ කිරීම සඳහා රජය සිතාමතාම නාමල්ව අත්අඩංගුවට ගත් බවට ප්‍රචාරයක් යැවීමට ඔවුහු දැඩි ලෙස උත්සාහ කළ නමුත් එය ලත් තැනම ලොප්වනු දැකගත හැකිවිය.

නාමල්ගේ අඩුපාඩුවට, සංවිධායකයන් විසින් ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව වේදිකාවට කැඳවාගෙන එන ලදී. නිසි ලෙස ඇවිදීමට හෝ සිට ගැනීමට නොහැකිව සිටි ඔහුගෙන් දිස්වූයේ ඉතා කණගාටුදායක දසුනකි. මෙය දුටු බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටියේ මෙම වයෝවෘද්ධ පුද්ගලයාට ඔහුගේ අවසන් කාලය සාමකාමීව ගතකිරීමට ඉඩ දෙන ලෙසයි. තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා රෝගී පියා යොදාගැනීම ගැන ඔහුගේ දරුවන්ට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල විය.

ජනතාව මුහුණදෙන කිසිදු ගැටලුවක් පිළිබඳව සාකච්ඡා නොවුණු අතර, රැලියේදී පැවැත්වූ කතා මගින් විපක්ෂයේ පවතින අභ්‍යන්තර දුර්වලතාවය සහ බිඳවැටීම මනාව නිරාවරණය විය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මෙම අවස්ථාවට එක්ව සිටියද, පසුගිය මාසවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ආණ්ඩු විරෝධී රැලි සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය වැනි අනෙකුත් කණ්ඩායම් මුළුමනින්ම ඉවත් කර තිබිණි.

රැලියේ වඩාත්ම උද්වේගකර මොහොත වූයේ මන්ත්‍රී අර්ච්චුනාගේ කතාවයි. ඔහු වර්තමාන ආණ්ඩුවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමින්, තමා දෙමළ ඩයස්පෝරාව සමග සමීපව කටයුතු කරන “කොටියකු” ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වාදුන්නේය. ජනතාව ප්‍රීති ඝෝෂා කරද්දී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි දකුණේ ජාතිකවාදීන් එම කතාව රසවිඳින අයුරු දැකගත හැකි විය.

වෙනත් ඕනෑම පක්ෂයක රැලියකදී දෙමළ දේශපාලනඥයෙකු නැගී සිට “මම කොටියෙක්” යැයි පැවසුවේ නම්, මෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය දැඩි ලෙස වෛරී සහගත වනු ඇත. වර්තමාන ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සඳහා පමණක් තමන්ම “කොටියෙකු” ලෙස හඳුන්වාගත් අයෙකු තමන්ගේ වේදිකාවේ තබා ගැනීමෙන්, මෙම නායකයන්ගේ දීර්ඝකාලීන දැඩි දේශප්‍රේමී රංගනය හුදෙක් දේශපාලන රැවටීමක් පමණක් බව තහවුරු වී තිබේ.

අවසානයේදී, විශාල විපක්ෂ රැල්ලක් ඇති කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම රැලිය, බරපතල මතවාදී දුර්වලතා සහ ප්‍රතිවිරෝධතාවලින් පිරි සන්ධානයක් නිරාවරණය කරමින් ආපසු කැරකී ඇත.

මෙම ගැටලුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් සීමා වූවක් නොවේ. සමස්ත විපක්ෂයම ප්‍රතිවිරෝධතා සහ නිසි මගපෙන්වීමක් නොමැතිකම නමැති චක්‍රයක සිරවී සිටියි. විපක්ෂය කිසිදු දිගුකාලීන සැලසුමකින් තොරව, සිදුවීම් සිදුවන විට ඊට ප්‍රතිචාර දැක්වීම පමණක් සිදුකරයි. මෙම විපක්ෂ නායකයන් පසුගිය වසරේ ඔක්තෝබර් 27 වැනිදා “මහජන හඬ” නමින් සන්ධානයක් පිහිටුවා ගත් අතර, පසුව නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී තවත් රැලියක් පැවැත්වීය. රජයට එරෙහිව දීර්ඝ සටනක ආරම්භය මෙය යැයි කියමින් ඔවුහු රට පුරා ව්‍යාපාරයක් ගැන මහ ඉහළින් ප්‍රකාශ කළද, ඉන් පසුව කිසිදු රැලියක් සංවිධානය කිරීමට අසමත් වූහ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ දිවයින පුරා රැස්වීම් 1,000ක් පවත්වන බවට පොරොන්දු වූ නමුත් එයද ඉටු වූයේ නැත. ශ්‍රී ලංකාවේ වර්තමාන විපක්ෂයේ කණගාටුදායක යථාර්ථය මෙයයි.