September 16, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා 2006 වසරේදී යුක්රේනයෙන් මිග් 27 (MiG-27) ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරාගෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද පසුගිය 11 වැනිදා පැය 5කට අධික කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කළ අතර, ඊට පෙර දින හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන් ද දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

යුක්රේනයේ ‘උක්‍රින්මාෂ්’ සමාගමින් මිග් ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සහ ඒ වන විට ගුවන් හමුදාව සතුව තිබූ මිග් 27 යානා 3ක් හා මිග් 23 පුහුණු යානාවක් අලුත්වැඩියා කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 14.66ක මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. එම මුදලින් ඩොලර් මිලියන 7ක් ව්‍යාජ ගිණුමකට බැර කරමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව සඳහන් වේ.

මෙම ගනුදෙනුව සිදුවන සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මෙම සිදුවීමට අදාළව මීට පෙර අත්අඩංගුවට පත්වූ අතර, ඔහු දැනට ඇප මත පසුවෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.