
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පැවසීය.
ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ මෙරටදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.
තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී ඇති බව සඳහන් කළේය.
“පසුගිය කාලයේ 4.73%ක්ව පැවති ඩිජිටල් ආර්ථිකය අද වන විට 5%කට වඩා ඉහළ තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික සමුළුව ජූලි මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය එක්ව කටයුතු කරනවා. ඒ වගේම පසුගිය වසරේ SLSI ආයතනයෙන් ලැබුණු ලාභයෙන් මිලියන 50ක් භාණ්ඩාගාරයට ලබාදී තිබෙනවා.” යනුවෙන් ද ඇමැතිවරයා පැවසීය.
මෙරට ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීම උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව ද ඔහු සඳහන් කළේය.
“කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් තාක්ෂණිකව සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා. එහිදී ව්‍යවසායකයන් සඳහා GMP සහතිකය සහ SLSI සහතිකය ලබාදීමට කටයුතු කරනවා. අනතුරුව ඔවුන්ට ආසියානු සංවර්ධන බැංකුව (ADB) හරහා අඩු පොලියට ණය ආධාර ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා. එම කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙළෙඳපළ වෙත යොමු කිරීම අපගේ අරමුණයි. එමෙන්ම ශ්‍රී ලංකා ස(ර්)ට් ආයතනය (Sri Lanka Cert Institute) මඟින් ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වනවා. ඉන්පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට ද ඉතාමත් කඩිනමින් කටයුතු කරනවා.” යැයි රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
විදුලි සංදේශ නියාමන කොමිසම, අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව අන්තර්ජාල පහසුකම් නොමැති තෝරා ගත් පාසල් 1000කින් 700ක් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දී ඇති බවත් එහි දෙවැනි අදියර ලෙස පාසල් මට්ටමින් “කෘත්‍රිම බුද්ධිය” විෂය හඳුන්වාදීම සඳහා AI මධ්‍යස්ථාන පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව තාක්ෂණ නොවන උපාධිධාරීන් 10,000ක් සඳහා සය මාසික තාක්ෂණ කර්මාන්ත පුහුණුවක් ලබාදීම මැයි මාසයේ දී ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart