August 3, 2025

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්මෙන් එම ව්‍යාපෘතිය ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා ඇති බවට වාර්තා පළ වුවද, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව තහවුරු කර තිබේ.

“අමාත්‍යාංශයේ සැලසුම්වලින් ව්‍යාපෘතිය ඉවත් කර නැහැ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවෙනවා.” යැයි මහාචාර්ය හේමපාල පැවසීය.

එසේ වුවද සවිස්තරාත්මක සාකච්ඡා අවසන් වන තෙක් දිගුකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්මට එම ව්‍යාපෘතිය නිසි පරිදි ලෙස ඇතුළත් කිරීම කල් දමා ඇත.

ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බවත් උපායමාර්ගික වැදගත්කමක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලය නැවත අවධාරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පැවසුවේ ජාලක අන්තර් සම්බන්ධතාව මගින් පද්ධති ස්ථායිතාව වැඩි දියුණු කිරීමට සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල හුවමාරුව සක්‍රීය කිරීමට ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබුණේ, ව්‍යාපෘතිය සඳහා වන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමට ඉදිරිපත් කිරීම සඳහා සවිස්තර වාර්තාවක් සකස් කරමින් පවතින අතර එමඟින් ඊළඟ පියවර පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත ලංකා විදුලිබල මණ්ඩලයෙන් තවමත් කිසිදු විධිමත් දැනුම්දීමක් ලැබී නොමැති බවයි.

ඉන්දු – ශ්‍රී ලංකා ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කොළඹ සංචාරයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මත පදනම් වී තිබේ.

මෙගාවොට් 500ක ධාරිතාවක් ඉලක්ක කරගත් I අදියර යටතේ ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ මන්නාරම දක්වා සම්බන්ධ කරන, වෝල්ටීයතා ප්‍රභව පරිවර්තක (VSC) සහ අධි වෝල්ටීයතා සෘජු ධාරා (HVDC) ද්විධ්‍රැව මාර්ගයක් සැලසුම් කිරීම අවබෝධතා ගිවිසුමේ දක්වා ඇත.

මෙම ව්‍යාපෘතියට 2002 දක්වා දිවෙන දිගු ඉතිහාසයක් ඇත.

එය එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඒජන්සිය විසින් අරමුදල් සපයන ලද ශක්‍යතා අධ්‍යයනයකින් ආරම්භ විය.

ඉන්දියාවේ විදුලිබල ජාල සංස්ථාව විසින් සිදු කරන ලද තාක්ෂණික සමාලෝචන සහ 2010 දී ඇතිකර ගත් විධිමත් අවබෝධතා ගිවිසුමක් මගින් ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනයන් සඳහා මග පෑදිණි.

ලංකා විදුලිබල මණ්ඩලය, ඉන්දියාවේ විදුලිබල ජාල සංස්ථාව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් තවදුරටත් කරන ලද තක්සේරු කිරීම් මගින් තාක්ෂණික, ආර්ථික සහ මූල්‍ය ශක්‍යතා පරීක්ෂා කර ඇත.

2023 දී, ශ්‍රී ලංකාවේ අධි වෝල්ටීයතා සෘජු ධාරා පර්යන්තයේ පිහිටීම හබරණ සිට මන්නාරම දක්වා සුළං බලශක්ති සම්පත් වඩා හොඳින් භාවිත කිරීම වෙනුවෙන් සංශෝධනය කරන ලද අතර, එමඟින් මුහුද යට කේබල් සඳහා විකල්ප අතිරේක ඇගයීමක් සිදු විය.

ව්‍යාපෘතිය අදියර දෙකකින් සැලසුම් කර ඇති අතර, අදියර I සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඩොලර් බිලියන 1.225කි.

මෙගාවොට් 500 ක ධාරිතාවක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යාපෘතිය අනාගත ඉල්ලුම අනුව දෙවැනි අදියරේදී මෙගාවොට් 1,000 දක්වා පුළුල් කළ හැකිය.

පිරිවැය හෝ කාල නියමයන් පිළිබඳ අවසන් තීරණ ගෙන නොමැති අතර, පාර්ශවකරුවන් අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වේ.