September 14, 2026

තම දියණියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් හම්බන්තොට මහාධිකරණය විසින් පුද්ගලයකුට පනවන ලද වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.

අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය මුළුමනින්ම ඉවත දමන බවයි.

2018 ඔක්තෝබර් 01 සහ ඔක්තෝබර් 31 අතර කාලය තුළ සිය දියණිය ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් 3ක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව හම්බන්තොට මහාධිකරණය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 364(3) වගන්තිය යටතේ එක් චෝදනාවකට ඔහු වරදකරු කරමින් වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

අනෙක් චෝදනා දෙකෙන් ඔහු නිදහස් විය.

සිරදඬුවමට අමතරව රුපියල් 10,000ක දඩයක් සහ වින්දිත දියණියට රුපියල් 400,000ක වන්දියක් ගෙවීමට නියෝග කෙරිණි.

දඩය සහ වන්දිය නොගෙවන්නේ නම් එකකට මාස 6 බැගින් අතිරේක සිරදඬුවම් ද පනවා තිබිණි.

සිදුවීම සිදුවූ වේලාව හෝ දිනය පැහැදිලි නැති බවත්, දියණියගේ සාක්ෂි විශ්වාස කළ නොහැකි බවත් පවසමින් විත්තිකරු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

කෙසේවෙතත්, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂි ඉතා විශ්වාසදායක බවත්, * මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුවට මැදිහත් වීමට අභියාචනාධිකරණයට කිසිදු පදනමක් නැති බවත්ය.

ඒ අනුව, අභියාචනය පරාජයට පත් කරමින් 2025 ජූලි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර 15ක සිරදඬුවම, දඩය සහ වන්දිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට අභියාචනාධිකරණය නියෝග කළේය.