July 2, 2025

තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රාගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, ඇය කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ සිදු කළ දුරකථන සංවාදයක් පසුව මාධ්‍ය වෙත රහසිගතව නිකුත් වීමෙන් පසුව එය පදනම් කර ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට එල්ල වෙමින් පවතින දැඩි බලපෑම් මධ්‍යයේයි.

එම දුරකතන සංවාදයේදී ෂිනවත්‍රා කාම්බෝජයේ හිටපු නායකයාව”මාමා” ලෙස හඳුන්වා ඇති බව වාර්තා වේ.

එමෙන්ම එම දුරකතන සංවාදයේදී ඇය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කර ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

එම දුරකතන සංවාදය ප්‍රසිද්ධියට පත්වීමත් එය තායිලන්තය තුළ මහජන කෝපයට හේතු වූ අතර අග්‍රාමාත්‍යවරිය ධූරයෙන් පහ කිරීම කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සමක් උසාවිය සලකා බලමින් සිටියි.

පසුගිය දශක දෙක පුරා තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ ෂිනවත්‍රා වංශයේ වත්මන් නියෝජනය වන අගමැතිනි පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රාට ද සිය ධූර කාලය අවසන් වීමට පෙර බලය අහිමි වුවහොත් එය ඉතිහාස ගත වන්නේ බලවත් ෂිනවත්‍රා වංශයේ බලයෙන් නෙරපා හැරෙන තුන්වන දේශපාලනඥයා බවට ඇයගේ නම සටහන් කරමිනි.

ඇය සේවයෙන් පහ කිරීම සඳහා වූ නඩුව සලකා බලන අතරතුර ව්‍යවස්ථාපිත අධිකරණය ඇයගේ වැඩ තහනම් කිරීමට 7-2ක් ලෙස ඡන්දය ප්‍රකාශ කළ අතර ඇයට කරුණු දැක්වීම සඳහා දින 15ක් ලබා දී තිබේ.

මේ අතර තායිලන්තයේ වැඩබලන නායකයා ලෙස නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කටයුතු කරයි.

කෙසේ වෙතත්, පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා තවදුරටත් එරට සංස්කෘතික ඇමති ලෙස කැබිනට් මණ්ඩලයේ රැඳී සිටිනු ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, ඇය වැඩතහනමට ලක් කිරීමට පැය කිහිපයකට පෙර අනුමත කරන ලද කැබිනට් සංශෝධනයකින් පසුව ලද නව පත්වීමකි.

කෙසේවෙතත් දුරකතන සංවාදය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ඊයේ තායි වැසියන්ගෙන් නැවතත් සමාව අයැද සිටි අතර, ඇය පැවසුවේ එම දුරකථන ඇමතුමේ අරමුණ “100% කට වඩා රට වෙනුවෙන්” වූ බවයි.

එහෙත් රහසේ පිටවූ හඬ පටය විශේෂයෙන් තායිලන්තයේ කොන්සර්වේටිව් නීති සම්පාදකයින් අතර දැඩි කෝපයට හේතුවී තිබේ.

ඔවුන් චෝදනා කළේ ඇය තායිලන්තයේ හමුදාවට වල කපන බවටයි.