May 15, 2025

මෙරට සිදුවන මාර්ග අනතුරු වැළැක්වීම සඳහා දුර ගමන් සේවා බස් රථ වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණය(AI) භාවිත කරන GPS සහ CCTV පද්ධති හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ගමනාගමන මණ්ඩලයට සහ පෞද්ගලික දුරගමන් බස් රථ සඳහා එම AI පද්ධතිය ළඟදීම හඳුන්වාදෙන බවයි.

මෙම ක්‍රමය මඟින් බස් රථ රියැදුරා වෙහෙසට පත්ව සිටින්නේ ද, නිදිමතෙන් සිටින්නේ ද, රිය පැදවීමේදී දුරකථන ඇමතුම් ලබාගන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමට හැකි බව ද ඔහු පැවසුවේය.

“බස් ගමනකදී යාන්ත්‍රික, මාර්ග තත්ත්වය, ආලෝකයේ ප්‍රශ්න වැනි විවිධ ගැටලුවලට රියදුරන් මුහුණදෙනවා. කෙසේවෙතත්, රියදුරුගේ ක්‍රියාපටිපාටිය ද නිරීක්ෂණය කළ යුතුයි. එවැනි පද්ධතියක් විදේශ රටවල භාවිත කරනවා. AI තාක්ෂණය භාවිතා කරන CCTV සහ GPS පද්ධති බස් රථයේ සවිකර තිබෙනවා. මෙය රියදුරුට නිදිමතද, වෙහෙසකරද නැතහොත් ඔහු ජංගම දුරකථනය භාවිතා කරන්නේද යන්න පරීක්ෂා කිරීමට උපකාරී වනවා. ඒක නිසා මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේ බස් රථ සඳහා හඳුන්වා දීමට අපි යෝජනා කර තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු අනාවරණ කළේ, ලංගම සහ පෞද්ගලික දුරගමන් බස්රථවල AI තාක්‍ෂණය භාවිත කරන CCTV සහ GPS පද්ධති සවිකරන බව සහ ඒවා මාර්ග බලපත්‍රය සමඟ ලබාදෙන බවයි.

මෙම AI ක්‍රමය ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික සමාගම් මගින් ක්‍රියාත්මක වන ලොරි හෝ කන්ටේනර් සහ දුම්රිය සඳහා හඳුන්වාදෙන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

සියලුම දුරගමන් බස් රථ ගමන ආරම්භ කිරීමට පෙර පූර්ණ පරීක්ෂාවට ලක්කළ යුතු ක්‍රමවේදයක් හඳුන්වාදෙන බවද ඔහු පැවසීය.