June 5, 2025

සිය පාසලේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර සිසුවියක් නිවෙසට කැඳවාගෙන පැමිණ සැමියාගේ ඉල්ලීම පරිදි තමන් ඉදිර්පිටදීම ඇයව දූෂණය කිරීමට ඉඩදීමෙන් රංචු ගැසී ස්ත්‍රියක දූෂණය කිරීම, ඒ සඳහා අනුබල දීම හා එකී දැරිය බරපතළ ලිංගික අපයෝජන කිරීම ඇතුළු අධිචෝදනා හයකට වරදකරුවන් කළ පාසල් ගුරුවරියකට හා ඇගේ සැමියාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ බරපතළ වැඩ සහිතව වසර 45 බැගින් වූ සිරදඬුවම් නියම කළේය.

චෝදනා තුනකට වෙන් වෙන්ව නියම කළ එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර 15කින් ගෙවී යන ලෙසට ලබාදීමට නියම කළ විනිසුරුවරයා, විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 30,000 බැගින් වූ දඩයක්ද නියම කළේය.

එයට අමතරව 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනත ප්‍රකාරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 15 බැගින් වූ වන්දියක් අගතියට පත් කාන්තාවට ගෙවිය යුතු බවටද නියම කළ විනිසුරුවරයා, විත්තිකරුවන් දෙදෙනා එකී වන්දියෙන් රුපියල් ලක්ෂ පහ බැගින් ගෙවීම ප්‍රමාණවත් බවටද නියෝගයක් පනවනු ලැබීය.

විත්තිකරුවන් සිදුකර ඇත්තේ සමස්ත සමාජයම පිළිකුල් කරන ඉතා බරපතළ වැරැදි වන බැවින්, ව්‍යවස්ථාදායකය පනවා ඇති උපරිම දඬුවම නියම කරන ලෙස රජයේ අධිනීතිඥ නිරෝධ ද සිල්වා සමඟ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කේක්ෂාණි විජේසිංහ අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විත්තිකරුවන් වරදකරුවන් බවට නිගමනය කළ විනිසුරුවරයා මහාධිකරණ භාෂණ පරිවර්තක බී.ඩී. තුවාන් සදාම් මාර්ගයෙන් අධිකරණයේ සිටි අගතියට පත් කාන්තාව අමතමින් විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර යමක් පැවැසීමට ඇත්නම් අධිකරණයට පවසන ලෙසට දැනුම්දුන්නේය.

එම අවසරයෙන් අධිකරණය ඇමැතු වින්දිත කාන්තාව ස්වාමිනී, “මෙතුමිය මගේ ගුරුවරියක්. මම ඇගේ සිසුවියක් කියන කරුණවත් නොසළකායි මට මේ අපරාධය කළේ. එබැවින් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි පැවැසුවාය.

එකී සිද්ධිය වන විට වින්දිත දැරිය වයස අවුරුදු 16යි, මාස 10ක අයකු බවත්, ඇගේ සම වයසේම පසුවන කුඩා දැරියන් දෙදෙනකුගේ මවුපියන් වන විත්තිකරුවන් සිදුකර ඇත්තේ ඉතා බරපතළ වැරැදි බවට රජයේ අධිනීතිඥවරිය දක්වන ලද කරුණු තම අධිකරණයද පිළිගන්නා බවත් පෙන්වාදෙමින් එකී දඬුවම් නියම කළ විනිසුරුවරයා, කෙසේනමුත් විත්තිකරුවන් දෙදෙනාට පෙර වැරැදි නොමැති පුද්ගලයන් බව සනාථ වන බැවින් එක් වරදකට නියම කළ හැකි වසර 20 බැගින් වූ සිරදඬුවම් නියම නොකොට එලෙස ලිහිල් සිරදඬුවමක් නියම කරනා බව පෙන්වාදුන්නේය.

පවත්නා නීති රාමුව තුළ රංචු ගැසී ස්ත්‍රියක් දූෂණය කිරීමේ වරදට කාන්තාවක් වුවත් වරදකාරිය කොට දඬුවම් නියම කළ හැකි බව ලොවටම කියාපාමින්, එලෙස දඬුවම් නියම කරනු ලැබූ යුවළගේ බාල දියණිය වයස අවුරුදු 17ක තැනැත්තියක් වන බැවින්, ඇගේ භාරකාරත්වය පවුලේ ළඟම ඥාතියකු භාරගත යුතු බවත්, වැඩිමහල් දියණිය අවුරුදු 22 තැනැත්තියක් වන බැවින්, ඈ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පෙන්වාදුන්නේය.

පළමු විත්තිකරුගේ බාල සොහොයුරිය එම තරුණියගේ භාරකාරත්වය භාරගැනීමට ඉදිරිපත් වූවාය.

එකී අපරාධය සිදුකරන විට වයස අවුරුදු 37 සහ 35 අතර වයසේ පසුවූ විත්තිකාර යුවළ රත්මලාන ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසට ඉතා දුරබැහැර ප්‍රදේශයක පදිංචිව සිටි එම පාසලේ සිසුවියක් කැඳවාගෙන විත් ඇති බවත්, දෙවැනි විත්තිකාරිය දැරියගේ ඇඳුම් ගලවා දමා සැමියා ඇයව දූෂණය කරන තෙක් ඇගේ අත්වලින් අල්ලා සිරකරගෙන සිට ඇති බවත් සාක්ෂි මඟින් අනාවරණය වී තිබිණි.

එකී අපරාධය සිදුකිරීමෙන් පසුව දැරියට බලාසිටින්නට යැයි නියෝග කොට විත්තිකරුවන් අඹු-සැමියන් ලෙස හැසිරී ඇති බවත් අනාවරණය වී තිබිණි.

පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තියේ සාක්ෂි විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කළ පසු, එවකට වසර 4ක දැරියක්ව සිටි විත්තිකරුවන්ගේ බාල දියණියද විත්තියේ සාක්ෂිකාරියක ලෙස කැඳවීමට විත්තිය පියවර ගෙන තිබිණි.

නිලන්ත රත්නායක හෙවත් නිලංග හා සුජීවනී ප්‍රියදර්ශනී මහවත්ත නමැති විත්තිකරුවන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදුකළ විමර්ශන උධෘත අනුව නීතිපතිවරයා විසින් මෙයට වසර 13කට පමණ පෙර සිදුවූ එම අපරාධයට එරෙහිව නඩු පවරා තිබිණි.(මව්බිම)