September 19, 2025

කාන්තාවන් විසින් ලියන ලද පොත් ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් ඉවත් කිරීමට තලේබාන් රජය කටයුතු කර තිබ්.

ඊට අමතරව මානව හිමිකම් සහ ලිංගික හිංසනය සම්බන්ධයෙන් ඉගැන්වීම ද තහනම් කර ඇත.

‘ෂරියා විරෝධී සහ තලේබාන් ප්‍රතිපත්ති’ යටතේ සොයා ගත් පොත් 680 අතරට ‘රසායනික රසායනාගාරයේ ආරක්ෂාව’ වැනි මාතෘකා ඇතුළු කාන්තාවන් විසින් ලියන ලද පොත් 140ක් පමණ ඇතුළත් වේ.

විශ්වවිද්‍යාලවලට තවදුරටත් විෂයයන් 18ක් ඉගැන්වීමට අවසර නොමැති බව දන්වා ඇති අතර, තලේබාන් නිලධාරියකු පැවසුවේ ඒවා ෂරියා මූලධර්ම සහ පද්ධතියේ ප්‍රතිපත්තියට පටහැනි බවයි.

මෙම නියෝගය වසර හතරකට පෙර නැවත බලයට පත්වීමෙන් පසු තලේබාන්වරුන් විසින් ගෙන එන ලද සීමාවන් මාලාවක නවතම පියවරයි.

දුරාචාරය වැළැක්වීම සඳහා පියවරක් ලෙස තලේබාන්වරුන්ගේ උත්තරීතර නායකයාගේ නියෝග මත අවම වශයෙන් පළාත් 10ක ෆයිබර් ඔප්ටික් අන්තර්ජාලය මේ සතියේ දී තහනම් කරන ලද බව එරට නිලධාරීන් තහවුරු කර තිබේ.

මෙවැනි නීති රීති එරට ජනතාවගේ ජීවිතයේ බොහෝ අංශ කෙරෙහි බලපෑමක් කර ඇති අතර කාන්තාවන් සහ ගැහැණු ළමුන් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

ගැහැණු ළමුන්ට හයවන ශ්‍රේණියට වඩා අධ්‍යාපනයට ප්‍රවේශ වීම තහනම් කර ඇති අතර, 2024 අගභාගයේදී වින්නඹු මාතාවන්ගේ පාඨමාලා ද නිහඬව වසා දමා ඇත.

දැන් විශ්වවිද්‍යාල විෂයයන් පවා කාන්තාවන් පිළිබඳ ඉලක්ක කර ඇත.

තහනම් කර ඇති විෂයයන් 18න් හයක් විශේෂයෙන් කාන්තාවන් ගැන වන අතර, ඒවාට ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය, සන්නිවේදනයේ කාන්තාවන්ගේ භූමිකාව සහ කාන්තා සමාජ විද්‍යාව ඇතුළත් වේ.

ඇෆ්ගන් සංස්කෘතිය සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුකූලව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බව තලේබාන් රජය පවසා තිබේ.

පොත් සමාලෝචනය කළ කමිටුවේ සාමාජිකාවක් කාන්තාවන් විසින් ලියන ලද පොත් සඳහා තහනම තහවුරු කළ අතර, “කාන්තාවන් විසින් රචිත සියලුම පොත් ඉගැන්වීමට අවසර නැත” යනුවෙන් ඇය බීබීසී ඇෆ්ගනිස්ථාන් වෙත පවසා ඇත.

තලේබාන් රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යයන අධ්‍යක්ෂ සියුර් රහ්මාන් ආරියුබි, විශ්වවිද්‍යාල වෙත ලිපියක් යවමින් කියා සිටියේ තීරණ ‘ආගමික විද්වතුන් සහ විශේෂඥයන්’ මණ්ඩලයක් විසින් ගෙන ඇති බවයි.

කාන්තාවන්ගේ පොත් මෙන්ම ඉරාන කතුවරුන්ගේ හෝ ප්‍රකාශකයන්ගේ පොත් ද තහනම මගින් ඉලක්ක කර ගෙන ඇති බව පෙනේ.

පොත් සමාලෝචන මණ්ඩලයේ සාමාජිකයකු බීබීසීයට පවසා ඇත්තේ එය “ඉරාන අන්තර්ගතය ඇෆ්ගන් විෂය මාලාවට ඇතුළු වීම වැළැක්වීම” සඳහා නිර්මාණය කර ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ සියලුම විශ්වවිද්‍යාල වෙත යවන ලද පිටු 50කින් යුත් ලැයිස්තුවේ, මාතෘකා 679ක් දක්නට ලැබෙන අතර, ඉන් 310ක් ඉරාන ලේඛකයන් විසින් රචිත හෝ ඉරානයේ ප්‍රකාශයට පත් කර ඇති ඒවාට අදාළය.

මෙම හිඩැස පිරවීමට නොහැකි වනු ඇතැයි තමන් බිය වන බව විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පවසා ඇත.

“ඉරාන කතුවරුන්ගේ සහ පරිවර්තකයන්ගේ පොත් ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල සහ ගෝලීය අධ්‍යයන ප්‍රජාව අතර මූලික සම්බන්ධකය ලෙස සේවය කරනවා. ඒවා ඉවත් කිරීම උසස් අධ්‍යාපනයේ සැළකිව යුතු රික්තයක් ඇති කරයි,” යනුවෙන් ඔහු පැවසීය.