May 17, 2024

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායකව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළේය.

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනකු කපාකොටා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට මරණ දණ්ඩනය දී තිබිණි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ඒම්. ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතිසි නිකුත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානයකර නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතිසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

ඊට අමතරව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු යුද හමුදා සැරයන් සුනිල් රත්නායකට ද මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබීය.

ඉන් අනතුරුව මෙම පෙත්සම සැප්තැම්බර් 4 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් අධිකරණ නියෝග කළේය.

2000 වසරේ දෙසැම්බර් 19 වනදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු කපා කොටා මරා වළ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය.

එම නඩුවේ විභාගයෙන් අනතුරුව වරදකරු කෙරුණු සුනිල් රත්නායකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

ඉන් අනතුරුව එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

එම අභියාචනා පෙත්සම විභාගකළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකාර සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව 2017 වසරේ මැයි මස 20 වනදා තහවුරු කරනු ලැබූවේය.

ඉන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා සිටි සුනිල් රත්නායකව 2020 වසරේ මාර්තු මස 26වැනිදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කරනු ලැබීය.

පෙත්සම්රු කියා සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ අධිකරණය විසින් වරදකරු කරනු ලබන පුද්ගලයන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබෙන බවයි.

එහෙත් එම සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය පටිපාටියක් පවතින බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි.

එම නීතිමය පටිපාටිය අනුගමනය නොකොට අදාළ විත්තිකරු වෙත ජනාධිපති සමාව ප්‍රදානය කොට ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

මේ හරහා හිටපු ජනාධිපතිවරයා අධිකරණය සතු බලය අවභාවිතාවට ලක්කර ඇති අතර, ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකර ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු, ඒ තුළින් ඔහු ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කර තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කර මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝන වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, එම ජනාධිපති සමාව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.(අද දෙරණ)