May 5, 2025

නිෂ්පාදන ආයතනයක නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටළා ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව දින මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් මෙලෙස වටළා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය හා නිෂ්පාදන ආයතන නාමයක් ව්‍යාජ ලෙස යොදාගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බවට අනාවරණය වී ඇත.

වැටළීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙළඳපොළට නිකුත්කිරිමට සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර ටින්මාළු (එකක ශුද්ධ බර ග්‍රෑම් 425සහිත) ඇසුරුම් 700 කට ආසන්න සංඛ්‍යාවක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන ඇති අතර, පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටළීමට අදාළ මූලික විමර්ෂනවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.