August 14, 2026

මාර්ග රථවාහන වරදක් සම්බන්ධයෙන් වාහනයක් නතර කිරීමට අවශ්‍ය වූ විට, පොලිස් නිලධාරීන් වෙනත් මාර්ග පරිශීලකයින්ට පැහැදිලිව පෙනෙන ස්ථානයක සිට විනිවිදභාවයෙන් සහ වෘත්තීය මට්ටමින් එම මෙහෙයුම සිදුකළ යුතු බවත්, හුදකලා ස්ථානවල හෝ පඳුරු අස්සේ සැඟවී සිටිමින් රියදුරන් නතර කිරීමට උත්සාහ නොකළ යුතු බවත් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර දැඩි ලෙස අවධාරණය කරයි.

මහජනතාවට සැකයක් ඇති වන පරිදි අත්තනෝමතික ලෙස වාහන නතර කිරීම හෝ මුදල් ලබාගැනීමේ අරමුණින් මෙහෙයුම් සිදුකිරීම නොකළ යුතු බවත්, පාරිසරික වශයෙන් මහජනතාවට පෙනෙන බස් නැවතුම්පොළක් වැනි සුදුසු ස්ථානයකදී පමණක් වාහන නතර කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම රියදුරන් කිසිදු හේතුවක් මත පොලිස් නිලධාරීන්ට සෘජුව මුදල් ලබානොදිය යුතු අතර, දඩ මුදල් ගෙවිය යුත්තේ තැපැල් කාර්යාල වැනි නීත්‍යනුකූල මාර්ග හරහා පමණක් බවද, මාර්ගයේදී ලබාදෙන අල්ලස් දීම් හෝ ගැනීම් බරපතල වරදක් බවද ඔහු මතක් කර දුන්නේය.

දඹුල්ල අධිවේගී මාර්ග ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරියකු අල්ලස් ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සීඝ්‍රයෙන් සංසරණය වීමත් සමග මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකාර නිලධාරියා රථවාහන රාජකාරිවලින් ඉවත් කර වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යවා තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා හමුවේ ශ්‍රී ලංකා පොලිසිය කිසිදු නම්‍යශීලීතාවයක් නොදක්වන බවත්, වරදකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ දැඩි තීන්දු ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.