August 30, 2026

නේපාලය සහ ටිබෙට් අසල මායිම් ප්‍රදේශවලට ඇති වූ දරුණු හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ විනාශයන් සැලකිල්ලට ගනිමින්, එම රටේ මුදාගැනීමේ සහ පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ භටයන් සුදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත්, නේපාල රජයෙන් නිල ඉල්ලීමක් හෝ අවශ්‍ය සෙබළුන් සංඛ්‍යාව සහ උපකරණ පිළිබඳ උපදෙස් ලැබෙන තෙක් කිසිදු හමුදා කණ්ඩායමක් තවමත් පිටත්ව ගොස් නොමැත.

අවශ්‍ය උපදෙස් ලදහොත් වහාම පිටත්ව යෑමට හැකි පරිදි මෙම සෙබළුන් සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.

අගෝස්තු 26 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක ‘X’ පණිවිඩයක් තබමින්, නේපාලයේ සිදුවූ ඛේදනීය ජීවිත හානි පිළිබඳව කණගාටුව පළකරමින් මුදාගැනීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.

ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ද නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් සමඟ සාකච්ඡා කර අවශ්‍යතාවය අනුව සහාය ලබාදීමට ඉදිරිපත් වී ඇත.