May 16, 2025

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව 2025 වසර සඳහා නම් කර ඇති ආසියාවේ අවුරුදු 30න් පහළ බලවත්ම ව්‍යවසායකයන් 30 දෙනාගේ ලැයිස්තුවට ‘Wild Cookbook’ YouTube නාලිකාවේ හිමිකරු වන චරිත් එන්. සිල්වාට අමතරව තවත් තරුණ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ තරුණියක ඇතුළත් කර තිබේ.

ඔවුන් වන්නේ, ශ්‍රී ලංකාව පදනම් කරගත් කෘත්‍රිම බුද්ධි සේවා සපයන Synapse AI Labs නිර්මාතෘ නිකින් මාතරආරච්චි සහ ‘Silver Aisle’ ඩිජිටල් වේදිකාවේ නිර්මාතෘවරිය වන යානිකා අමරසේකර යි.

සිල්වර් අයිල් හි නිර්මාතෘවරිය වන යානිකා අමරසේකර, සිල්ලර හා විද්‍යුත් වෙළඳාම් අංශයේ ඇයගේ ව්‍යවසායකත්වය වෙනුවෙන් එම ලැයිස්තුවට එක්කර තිබේ.

2019 වසරේදී ආරම්භ කරන ලද ඇයගේ එම වේදිකාව, පළමුව විවාහ උත්සව සඳහා ත්‍යාග වෙන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් වේදිකාව ලෙස හඳුන්වාදුන් අතර, වර්තමානය වන විට පුද්ගලයන්ගේ ජිවිතවල වැදගත් විවිධ අවස්ථාවන් සඳහා ත්‍යාග වෙන්කිරීම, ආහාරපාන සහ නිවාඩු පැකේජ, අශ්වයන් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම වැනි සේවාවන් රැසක් ලබාදෙන පුළුල් ව්‍යාපාරයකි.

යානිකා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක්ද, කැලිෆෝනියාවේ UC Berkeley විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමිකරගෙන ඇත.

ෆෝබ්ස් ලැයිස්තුවට ඇතුළත් කර ඇති අනෙක් ශ්‍රී ලාංකික තරුණයා වන්නේ නිකින් මාතරආරච්චි ය.

ඔහු Social Media, Marketing & Advertising කාණ්ඩය යටතේ මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

නිකිත්, වෙළෙඳනාම සහ ව්‍යාපාර සඳහා AI tools නිර්මාණය කරන කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Synapse AI Labs ආයතනයේ නිර්මාතෘවරයායි.

ඔහු මේ වනවිට මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් සිටියි.