December 4, 2025

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ අමෙරිකානු ඩොලර් මිලියන 350කට ආසන්න හයවැනි වාරිකය සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම මූල්‍ය අරමුදල නිවේදනය කළේය.

මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති ඉහළ මට්ටමේ පරිත්‍යාගශීලීන්ගේ සංසදයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයකු විසින් නිවේදනය සිදු කර ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීමට සහ ජාතික සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ අන්තර්ජාතික ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යාංශය ඉහළ මට්ටමේ පරිත්‍යාගශීලීන්ගේ සංසදයක් ඊයේ කැඳවා තිබිණි.

මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සම-සභාපතිත්වය දැරූ මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නියෝජිතයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් සහභාගී වී තිබිණි.

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සංවර්ධන හවුල්කරුවන් සිය දැඩි කැපවීම මෙහිදී නැවත තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

හදිසි ප්‍රතිචාරවල සිට පුළුල්, දිගුකාලීන ප්‍රතිසාධන රාමුවකට මාරුවීමේ රජයේ අභිප්‍රාය අවධාරණය කරමින්, රටේ සියලුම අංශ වෙත සුළි කුණාටුවෙන් සිදු වූ පුළුල් හානිය පිළිබඳ දළ විශ්ලේෂණයක් භාණ්ඩාගාර ලේකම්වරයා ඉදිරිපත් කළේය.

ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන්, විශේෂයෙන් ආහාර සැපයුම්, ප්‍රදාන, සහනදායී මූල්‍යකරණය සහ කෙටි කාලීන සිට මධ්‍ය කාලීන ආධාර වැනි වේගවත් මානුෂීය සහයෝගයකින් සංවර්ධන ආධාර සඳහා හදිසි අවශ්‍යතාවක් ඇති බව ඔහු අවධාරණය කළේය.

ආර්ථික අංශයේ හැකිලීම සහ දේශීය ණය ගැනීම සඳහා ඇති සීමාවන් සඳහන් කරමින්, මහ බැංකු අධිපතිවරයා බාහිර මූල්‍ය ආධාරයේ වැදගත්කම ඉස්මතු කළේය.

සංචාරක අංශය පුනර්ජීවනය කිරීම සඳහා අන්තර්ජාතික සහභාගීත්වය දිරිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව වෙත සංචාර ප්‍රවර්ධනය කරන ලෙස රජයේ බලධාරීන් සංවර්ධන හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

බලපෑමට ලක් වූ ජනතාව ස්ථාවර කිරීමට සහ රෝග පැතිරීම වැළැක්වීම සඳහා ආපදා සහන මෙහෙයුම්, හදිසි සේවා සහ ආහාර, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක කට්ටල, වෛද්‍ය සැපයුම් සහ හදිසි සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය මානුෂීය සැපයුම් ඇතුළු ක්ෂණික ආධාර සඳහා සංවර්ධන සහ පරිත්‍යාගශීලී හවුල්කරුවන් කිහිප දෙනෙකු සිය කැපවීම සඳහන් කර ඇත.

ඇතැම් රටවල් දැනටමත් ආපදා සහන සහ මානුෂීය කණ්ඩායම් යොදවා ඇත.

ප්‍රධාන මාර්ග, පාලම්, වාරිමාර්ග පද්ධති සහ ප්‍රවාහන ජාල ඇතුළු හානියට පත් ආර්ථික හා සමාජ යටිතල පහසුකම් මධ්‍ය කාලීනව පුනරුත්ථාපනය කිරීම සඳහා සහාය වීම වෙනුවෙන්, පවතින ණය පහසුකම් නැවත සැලසුම් කිරීමට සහ ප්‍රතිනිර්මාණය කිරීමට ද හවුල්කරුවන් එකඟ වී තිබේ.

දිගුකාලීන සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ණය සහ ප්‍රදාන පැකේජ සඳහා විකල්ප ඔවුහු තවදුරටත් ගවේෂණය කළහ.

ලෝක බැංකුව විසින් දැනටමත් වේගවත් පශ්චාත්-ආපදා තක්සේරුවක් ආරම්භ කර ඇති අතර, සංවර්ධන හවුල්කරුවන් මධ්‍යම හා දිගු කාලීන ප්‍රකෘතිමත් වීම සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් නිවාස, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය සහ සේවාවන් ආවරණය වන පරිදි පුළුල් හානි සහ අවශ්‍යතා තක්සේරුවක් පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡා පවත්වා ඇත.