April 30, 2024

සියලුම ක්‍ෂේත්‍රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.

සෑම අංශයකම ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 19 වැනි වගන්තිය ළමුන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ආරක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටින බව පෙන්වාදෙන ජනාධිපතිවරයා ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව, සාමාන්‍ය විවරණ අංක 8හි අවධාරණය කරන්නේ ශාරීරික දඬුවම් සෑම අවස්ථාවකදීම තහනම් කළ යුතු බව යැයි පවසා තිබේ.

සෑම දරුවකුගේම අයිතිවාසිකම් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට රජය දක්වන කැපවීම හා සමගාමීව ශ්‍රී ලංකාවේ කිසිදු දරුවකු කායික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ලක් නොවන බවට සහතික වීමට අවශ්‍ය නීතිමය රැකවරණය සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය මග පාදන බව ජනාධිපති වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.

අප්‍රේල් 30 වැනිදාට යෙදී ඇති ‘ශාරීරික දඬුවම් අවසන් කිරීමේ අන්තර්ජාතික දිනය’ නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.