November 29, 2023

ශ්‍රී ලංකාවට සැමදා බංකොලොත් රටක් ලෙස සිටීමට නොහැකි නිසා රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ සියලුදෙනා කැපවී වැඩ කිරීම තුළින් බිඳ නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් කරා රට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ඊයේ (28) ආරම්භ කෙරුණු 2023 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනය සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවැසීය.

“මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා අප පසුගිය වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස හැඳින්විය හැකිද කියා මා දන්නේ නැහැ.ප්‍රතිසංස්කරණ යන වචනයේ අර්ථය දෙස බැලුවහොත් මීට සති කිහිපයකට පෙර අප ආර්ථිකයට සිදු කළේ ප්‍රතිසංස්කරණයක් නොවෙයි. එය සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමක්, එසේ නැතිනම් රැඩිකල් ප්‍රතිව්‍යුහගත කිරීමක ආරම්භය කිවහොත් නිවැරදියි. අපට ආපසු හැරීමක් නෑ. අප මෙය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

දැන් අප වැඩකරන්න අවශ්‍යයි. අපට මෙම නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ වැඩ කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සිදු කළ මෙම ගැඹුරු ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් තුළ සැළකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අප මේ වන විට සමත් වී සිටිනවා.

අප පසුගිය මාස කිහිපය තුළ මෙරට සියලුම ණය හිමියන් සමඟ ඉතා හොද විශ්වාසයකින් යුතුව ඵලදායී සාකච්ඡාවල නිරත වුණා. ශ්‍රී ලංකාවට මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූයේ එහි විනිවිදභාවය සහ මනා විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම නිසයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දුන් පළමු බැංකුව චීන එක්සිම් බැංකුවයි. එසේම නිල ණය හිමියන්ගේ කමිටුවත් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවයක් ඉතා ඉක්මනින් ලබාදෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මෙම දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමඟ මෙම සාකච්ඡාවලට ඇතුළත්ව තිබෙන්නේ අප රටක් ලෙස ඉදිරියේ දී ක්‍රියාත්මක කරන ආර්ථික මූලධර්මයි. අප එයින් ඉවත් වුවහොත් අපේ ණය හිමියන් ඊට විරුද්ධව ක්‍රියාත්මක වීමට පෙළඹෙනවා. ඒ අනුව අපට මේ ගිවිසුම් තුළ පවතින රාමුව ඇතුළත වැඩ කිරීමට සිදුවෙනවා.

මොකද අපට මෙම දිගුකාලීන ගිවිසුම අහිමි වුවහොත් ඊළඟට බලයට පත්වන ආණ්ඩුව කවුරු වුවත් රටේ ආර්ථික කඩාවැටීම නැවැත්වීමට කිසිවෙකුට නොහැකි වෙනවා. ඒ නිසා අප මෙම ආර්ථික රාමුව තුළ කටයුතු කළයුතුයි. එය රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බව කිව යුතුයි. ඒ වගේම අප තරගකාරී ආ‍ර්ථිකයකට යා යුතුයි.

ආර්ථික අර්බුදය පැවැති කාලයේ වේදිකා මත සිට විසඳුම් ගැන කතා කළ දේශපාලන නායකයින් ‍මෙම වැඩපිළිවෙළට එකඟ නැහැ. නමුත් ඔවුන් කිසිදු විසඳුමක් මේ වන විට ඉදිරිපත් කරලත් නැහැ. රටක් ලෙස හැමදාම බංකොළොත් වී සිටිය නොහැකියි. ඒ නිසා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

අප තරඟකාරී වීමට අකමැති නිසා අපනයන ආර්ථිකයකට සූදානම් නැහැ. නමුත් අපට එලෙස ඉදිරියට යා නොහැකියි. අපට ලැබෙන අන්තිම අවස්ථාව මෙයයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් මෙම නව ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කළ යුතු වෙනවා.

අප එයින් ඉවත් වුවහොත් තවත් වසර 10කින් නැවත මේ රට ආර්ථික අර්බුදයකට මුහුණදීම වැළැක්වීය නොහැකියි. අප කිසිවෙක් නැවත එම තත්ත්වයට යාමට කැමති නැහැ. එම නිසා ඔබ සියලුදෙනා ඉතා තරගකාරී විය යුතුයි. අප නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. එසේ නම් අප තරගකාරීත්වයට මුහුණ දෙමින් ඉදිරියටම යා යුතුයි.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා විසින් මෙහෙයවනු ලැබූ විද්වත් සාකච්ඡාවකටද එක්විය. ඊට ඉන්දීය ක්‍රමසම්පාදන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති මොන්ටෙක් සිං අලුවාලියා (Montek Singh Ahluwalia) ද එක්විය.”