
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය පාලනයන් තුළ කැබිනට් අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස රජයට අයත් ආර්ථික වශයෙන් ප්‍රතිලාභ හිමිවන ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන බවට වත්මන් ආණ්ඩුව සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස පවසා තිබිණි.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස ගණනාවක් ගතවී තිබුණ ද මෙතෙක් එම බංගලා සම්බන්ධයෙන් පූර්ව මැතිවරණ පොරොන්දු අනුව කටයුතු කර ඇති බවක් දක්නට නොලැබේ.
ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් අනතුරුව සිය කටයුතු සඳහා ආණ්ඩුවට සැළකිව යුතු කාලයක් හිමිව තිබුණ ද මේ දක්වා එම කටයුතු ආරම්භ කිරීමට හෝ බංගලා හෝ අමාත්‍යවරුන්ගේ නිල නිවාස සඳහා මීට පෙර වෙන්කර තිබූ නිවාස ආර්ථික ප්‍රයෝජනය වෙනුවෙන් කුලියට දීමට සුදුසු ආයෝජකයන්ට පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොහැකි වී තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේ, මෙරට යටත් විජිත සමය තුළ ඉදිකරන ලද රජයේ බංගලා 31ක් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ නිල නිවාස ලෙස භාවිත කිරීමට අවසර ලබා දී තිබිණි.
මෙම නිවාස බොහෝදුරට යටත් විජිත සමයේ අවසාන භාගයේදී ඉදිකර ඇති අතර, යටත් විජිත නිලධාරීන් විසින් ඔවුන්ගේ නිල සහ නේවාසික කටයුතු සඳහා ඒවා භාවිත කරන ලදී.
රජයට අයත් මෙම නිවාස සහ බංගලාවල වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසා ඇත්තේ, එලෙස ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි නිවාස 50ක් පමණ හඳුනාගෙන ඇති බවයි.
ඉන් 30ක් පමණ පවතින ඉඩ පහසුකම් ආර්ථික වශයෙන් සාධනීය කටයුතු සඳහා ප්‍රමාණවත් බව ද ඔහු පවසා ඇත.
විදේශ දූත මණ්ඩල, රාජ්‍ය ආයතන ඇතුළු සංවිධාන රැසකින් එම නිවාස ඒවායේ කටයුතු සඳහා යොදාගැනීමට අවසර දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.
එමෙන්ම ඒවා සංචාරක ව්‍යාපාරය සඳහා යොදාගැනීම සඳහා ද ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.
“අපි ආණ්ඩුව විදිහට මෙම රජයට අයත් බංගලා සහ නිල නිවාස සම්බන්ධයෙන් තවම තීරණය කර නැහැ. විවිධ අංශවලින් ලැබෙන ඉල්ලීම් ඇගයීමෙන් පසුව තමයි ඒ ගැන සලකා බලන්නේ. අපි තක්සේරු කරලා තියෙනවා, අපිට ඒවා හොඳ මිලකට කුලියට දෙන්න පුළුවන් කියලා” ඔහු පැවසීය.
ඉඩ ප්‍රමාණයෙන් කුඩා රජයට අයත් නිල නිවාස සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, ඒවා සුළු පරිමාණ කටයුතු සඳහා භාවිත කරන බවයි.
මැතිවරණ කොමිෂන් සභාව ද ඔවුන්ගේ යම් යම් කටයුතු සඳහා එවැනි නිල නිවාසයක් ඉල්ලා ඇතැයි ද රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න පවසයි.
මෙම බංගලා සහ නිවාස නඩත්තු කිරීම සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, මෙම අවස්ථාවේදී ඒ සඳහා වැය කරන්නේ අවම පිරිවැයක් බවයි.
ඊට අමතරව එම බංගලා සහ නිවාසවල ගබඩා කර ඇති වටිනා භාණ්ඩ ආරක්ෂා කිරීම සඳහා හමුදා ආරක්ෂාව ලබා දී ඇති බව ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart