September 19, 2025

කළුතර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පොතුපිටිය සහ වස්කඩුව ප්‍රදේශවල සිදුකළ වැටළීමකදී ව්‍යාජ බලපත්‍ර තහඩු, වෙනස් කළ චැසි අංක සහ ලියාපදිංචි නොකළ යතුරුපැදි 6ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෙම යතුරුපැදි කළුතර සහ තදාසන්න ප්‍රදේශවල නිතර දක්නට ලැබුණු බවත්, වෙඩි තැබීම් ඇතුළු අපරාධ ක්‍රියාකාරකම් සඳහා ඒවා භාවිත කළ හැකි බවට මතුව ඇති සැකය හේතුවෙන් ඒවා පොලිසිය නිරීක්ෂණයට ලක්කර ඇති බවත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මෙම යතුරුපැදි මීට පෙර කිසියම් අපරාධයක් සඳහා භාවිත කර තිබේද යන්න පිළිබඳවද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.