August 13, 2026

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අම්බලන්තොට පිහිටි ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් සූක්ෂම විමර්ශනයකට මගපාදන අමුතුම ආකාරයේ සිදුවීමක් වාර්තා වේ.

අද දින පැවැත්වීමට නියමිතව තිබූ සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර අඩංගු බහාලුම විවෘත කිරීමේදී, ඒ තුළ තිබී හෙට (14) දින පැවැත්වීමට නියමිතව තිබූ භෞතික විද්‍යා (Physics) I ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් 06ක් හමුවී තිබේ.

අද දිනයේ විෂයන්ට සම්පූර්ණයෙන්ම පරිබාහිරව හෙට පැවැත්වෙන විෂයක පේපර් මෙලෙස පෙට්ටිය ඇතුළේ තිබීමත් සමඟ විභාග ශාලා බලධාරීන් කලබලයට පත්ව ඇති අතර, වහාම මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

කෙසේවෙතත්, සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ, අදාළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් කිසිදු ලෙසකින් නිරාවරණය වීමක් සිදුවී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙය මුද්‍රණාලයේදී හෝ පේපර් පැක් කිරීමේදී සිදුවූ වැරදීමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.