September 16, 2026

BRICS රාජ්‍ය නායක සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති සාර්ථක සාකච්ඡා, කොළඹ වරාය නගරය කෙරෙහි පවතින සැක සංකා දුරු කිරීමටත්, ඉන්දීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා සුභවාදී පරිසරයක් නිර්මාණය කිරීමටත් යහපත් සංකේතාත්මක පියවරක් වනු ඇති බව CHEC Port City Colombo සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ පවසයි.

‘ඩේලි මිරර්’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම හමුව යම් ප්‍රමාණයක සංකේතාත්මක පියවරක් වන අතර, චීන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය මඟින් පෙන්නුම් කරන්නේ දෙරට අතර වඩාත් වැඩි ව්‍යාපාරික සබඳතාවලට එළඹීමට ඇති හැකියාව බවයි.

කෙසේවෙතත්, මේ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීමට තවමත් කල්වේලා වැඩි බව ද ඔහු පවසා ඇත.

චීන ව්‍යාපෘති සමාගමක් සමඟ පවතින සබඳතාව හේතුවෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කෙරෙහි ඉන්දීය ආයෝජකයන් තුළ පවතින නොසන්සුන්තාව සහ ගැටලු නිරාකරණය කර ගැනීමට මෙවැනි රාජ්‍යතාන්ත්‍රික වර්ධනයන් මහත් රුකුලක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ඇතැම් භූ දේශපාලනික අභියෝග පවතින නමුත්, මෙය කොළඹ නගරයේ හෝ ශ්‍රී ලංකා රජයේම කොටසක් බවට වන සැබෑ කරුණු පැහැදිලි කරමින් එම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පවතින බව ද ඔහු සදහන් කරයි.

චීන සමාගම එහි සංවර්ධකයා සහ ආයෝජකයා පමණක් වන අතර, කොළඹ වරාය නගරයේ ඉඩම් හිමිකාරිත්වය තවදුරටත් ශ්‍රී ලංකා රජය සතුව පවතින බව ද ඔහු මෙහිදී අවධාරණය කරයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කලාපීය සේවා මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත වෙමින්, විශේෂයෙන්ම ගෝලීය ධාරිතා මධ්‍යස්ථාන සහ සේවා අංශයේ නියැලෙන ඉන්දීය සමාගම් වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරන වකවානුවක ඔහු මෙම අදහස් පළකර තිබේ.